Wednesday, February 8, 2023

General line - 0115112241

විදුලි ගාස්තු වැඩිකිරීම ගැන උපයෝගිතා කොමිසම ජාතික සභාවට කරුණු කියයි




විදුලි ගාස්තු වැඩිකිරීමට කඩිනම් අනුමැතිය දීමට හා අතීතයට බලපාන පරිදි විදුලි ගාස්තු වැඩි කිරීමේ හැකියාව සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ගැනීමට අද දින ලේඛන යොමුකරන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සාමාජිකයින් ජාතික සභාව හමුවේ අද ප්‍රකාශ කළා.

ඒ, විදුලි ගාස්තු ඉහළ දැමීමේ යෝජනාව සම්බන්ධයෙන් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ සභාපතිත්වයෙන් සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ සහභාගීත්වයෙන් ජාතික සභාව පාර්ලිමේන්තුවේදී අද රැස්වූ අවස්ථාවේදීයි. 

එහිදී අදහස් දැක්වූ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පෙන්වාදී ඇත්තේ අතීතයට බලපාන ලෙස 2014 වසරේදී ද විදුලි ගාස්තු සංශෝධනයක් සිදු කර ඇති බවයි. ඒ පිළිබඳ තමන් සතු ලිපි ලේඛන අවශ්‍ය නම් කොමිෂන් සභාවට ලබාදිය හැකි බවද අමාත්‍යවරයා පවසා තිබෙනවා.

එමෙන්ම මේ සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ අදහස් හැකි ඉක්මණින් ලබාගැනීමට කටයුතු කරන ලෙසද අමාත්‍ය කංචන විජේසේකර ඉල්ලීමක් කළ බවද පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවා.

ලංකා විදුලිබල මණ්ඩලයේ මෙහෙයුම් පිරිවැය දරාගත නොහැකි මට්ටමකට පත්ව ඇති බව, විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් එම සාකච්ඡාවේදී පෙන්වාදී තිබෙනවා.

මේ අතර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ බාධාවකින් තොරව විදුලි සැපයුම ලබාදීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අද පස්වරුවේ පැවැත්වුණා. ඒ, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේදීයි

. ඊට විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ ලේකම්, මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති, ලංකා විදුලිබල මණ්ඩලයේ සහ ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරුන් මෙන්ම ලංකා බැංකුවේ සහ මහජන බැංකුවේ ද සභාපතිවරුන්ට සහභාගිවන ලෙස දන්වා තිබුණා.

දැනට ක්‍රියාත්මක වන විදුලි කප්පාදුව ඔස්සේ උසස් පෙළ විභාගයට පෙනී සිටින අපේක්ෂකයින්ගේ අධ්‍යාපන අයිතියට බාධාකාරී තත්ත්වයන් පැමිණ ඇති බවට මානව හිමිකම් කොමිෂන් සභාවේ නිරීක්ෂණයට ලක්ව තිබෙනවා.

ඒ පිළිබඳ සාකච්ඡා කිරීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යංශ ලේකම්වරයා සහ මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපතිවරයා අද උදෑසන මානව හිමිකම් කොමිෂන් සභාවට කැඳවනු ලැබුවා. එම අවස්ථාවේ ගනු ලැබූ තීරණයකට අනුවයි අද පස්වරුවේ විශේෂ සාකච්ඡාවක් කැඳවනු ලැබුවේ.