Tuesday, May 14, 2024

General line - 0115112241

තාරුණ්‍යට හෙටක් සඳහා මුදල් දුන් බව කී නඩුවෙන් ගොඩහේවා නිදහස්




පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක ගොඩහේවා ඇතුළු විත්තිකරුවන් තුන් දෙනෙකුට එරෙහි නඩුවකින් ඔවුන් නිදොස් කොට නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය අද නියම කළා.

ඒ, ශ්‍රී ලංකා විනිමය හා සුරැකුම් කොමිසමේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී ”තාරුණ්‍යයට හෙටක්” සංවිධානය සඳහා එම කොමිසමේ අරමුදල් වලින් රුපියල් ලක්ෂ 50 ක් ලබාදීම තුළින් රජයේ මුදල් සාපරාධී පරිහරණය කළේ යැයි කියන චෝදනාවට අදාළවයි. කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා විසින් මෙම තීන්දුව ලබා දුන්නා. ඒ, දීර්ඝ නඩු විභාගයකින් අනතුරුවයි.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා සඳහන් කළේ පැමිණිල්ල විසින් විත්තිකරුවන්ට එරෙහි චෝදනා ඔප්පු කිරීම සඳහා ඉදිරිපත් කළ සාක්ෂි ප්‍රමාණවත් නොවන බවයි.

ඒ අනුව විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කරන බවයි නියෝගයේ සඳහන් වන්නේ. නිදහස් කරන ලද සෙසු විත්තිකරුවන් වන්නේ විනිමය හා සුරැකම්පත් කොමිසමේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධම්මික පෙරේරා සහ තාරුණ්‍යට හෙටක් සංවිධානයේ රොනී ඊබ්‍රහිම් යන අයයි.

නාලක ගොඩහේවා ඇතුළු විත්තිකරුවන් තුන්දෙනාට එරෙහිව ඉකුත් යහපාලන රජය සමයේ නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනුකර තිබුණා.