Sunday, May 12, 2024

General line - 0115112241

හඳුනා නොගත් රෝගයක් හේතුවෙන් අගනුවරක් ලොක්ඩවුන් කරයි 




ව්‍යාප්ත වෙමින් පවතින හඳුනා නොගත් ශ්වසන රෝගී තත්ත්වයක් හේතුවෙන් උතුරු කොරියාවේ අගනුවර අගුලු දැමීමට එරට බලධාරීන් තීරණය කර තිබෙනවා.

උතුරු කොරියාවේ රජයේ මාධ්‍යය සහ එරට පිහිටි රුසියානු තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් එරට බලධාරීන් විසින් එලෙස Pyongyang අගනුවර අගුලු දැමීම පිළිබඳව නිල වශයෙන් දැනුම් දී ඇති බව සඳහන් කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.

“විශේෂ වසංගත විරෝධී කාල පරිච්ඡේදයක් ස්ථාපිත කර ඇති” බවත් මේ හේතුවෙන් පුද්ගලයින්ට සිය නිවාස තුලම සිටින ලෙසත්, පුද්ගලයන් දිනකට සිව් වතාවක් තම උෂ්ණත්වය මැන බලා එහි වාර්තාවන් දුරකථනය ඔස්සේ රෝහලකට වාර්තා කරන ලෙසට ද උතුරු කොරියානු බලධාරීන් විසින් නියෝග නිකුත් කර ඇත්තේ.

කෙසේ වුවද උතුරු කොරියානු රජය විසින් නිකුත් කර ඇති නිවේදනයේ කිසිදු විටක කොවිඩ් වසංගත තත්ත්වය ගැන සටහනක් තබා නොමැති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කර සිටියේ.

මේ අතර දකුණු කොරියාවේ NK ප්‍රවෘත්ති සේවය වාර්තා කර සිටියේ උතුරු කොරියාවේ ජනතාව දෛනික අවශ්‍යතාවයන් සඳහා වන භාණ්ඩ කල් තියා රැස්කර ගැනීමට පෙළඹී ඇති බවයි.

එමෙන්ම උතුරු කොරියාවේ අගනුවර හැර වෙනත් ප්‍රදේශ අගුලු දැමීමක් සිදුකර ඇත්ද යන්න ගැන මෙතෙක් නිල වශයෙන් තොරතුරු ලැබී නොමැති බවද දකුණු කොරියාව පවසනවා.