Thursday, May 16, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාවේ පලතුරුවලට චීනයේ දොර ඇරෙන හැඩ




ශ්‍රී ලංකාවේ වගා කරන පලතුරු චීනයට අපනයනය කිරීම සඳහා පූර්ව සාකච්ඡාවක් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීරගේ සහභාගීත්වයෙන් පැවැත්වුණා. ඒ, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේදීයි. එම අවස්ථාවේදී චීනයට අවශ්‍ය පලතුරු අපනයනය සඳහා කරුණු ඉදිරිපත් කිරීමට චීන නියෝජිත පිරිසක් ද සහභාගී වී තිබුණා.

එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ මෙරට වගා කරන කැවෙන්ඩිෂ් කෙසෙල් විශේෂය මෙන්ම අන්නාසි, අඹ, ෆැෂන් ෆෘට් සහ ඇඹුල් කෙසෙල් හා කටු අනෝදා ලෝකයේ විවිධ රටවල ජනප්‍රියව ඇති බවයි. දැනටමත් පුද්ගලික ආයතන රැසක් අපනයනයට සුදුසු අන්දමින් වගා කරන ලද පලතුරු අපනයනයෙහි යෙදී සිටින බවත් ඔහු පැවසුවා.

මෙහිදී අදහස් පළ කළ චීන නියෝජිත පිරිස අප රටේ කෙසෙල් විශේෂ කිහිපයක් තෝරාගෙන ඒවා චීන වෙළඳපොළට අපනයනය කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට සූදානම් බව අමාත්‍යවරයාට දැනුම් දුන්නා. චීනයට ශ්‍රී ලංකාවේ කෙසෙල් අපනයනය සඳහා දැනට වසර ගණනකට පෙර චීන රජය හා ශ්‍රී ලංකා රජය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කර ඇතත්, මෙතෙක් එම වැඩපිළිවෙල ක්‍රියාත්මකව නොමැති නිසා යළිත් එම වැඩපිළිවෙල ඇරඹීමට පියවර ගන්නා බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ කෘෂි නවීකරණ ව්‍යාපෘතිය මඟින් දැනටමත් සෑම සතියකම සෙනසුරාදා දිනයේදී ඇඹුල් කෙසෙල් කිලෝග්‍රෑම් 12,500ක් සහිත කන්ටේනරයක් බැගින් ඩුබායි වෙළඳපොළට අපනයනය කෙරෙනවා.

මේ හේතුවෙන් ප්‍රමිතියෙන් යුත් ඇඹුල් කෙසෙල් ඩුබායි ජනතාව අතර ඉතාම ජනප්‍රියව පවතින බවයි කෘෂිකර්ම අමාත්‍යංශය පැවසුවේ.