Thursday, May 16, 2024

General line - 0115112241

හිටපු සෞඛ්‍ය ඇමැතිනියගේ ලිපියකට අභියාචනාධිකරණයෙන් දුන් නියෝගය




ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළ මහාචාර්ය හරේන්ද්‍ර ද සිල්වා ඇතුළු සාමාජිකයින් ඉවත් කරමින් 2020 වසරේ නොවැම්බර් මස 27 වනදා එවක සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි විසින් නිකුත් කළ ලිපියක් බල රහිත කරමින් අභියාචනාධිකරණය රිට් ආඥාවක් නිකුත් කර තිබෙනවා.

අදාළ තීරණය අභියෝගයට ලක් කරමින් මහාචාර්ය හරේන්ද්‍ර සිල්වා ඇතුළු පිරිසක් ගොනු කළ රිට් පෙත්සම් දෙකක තීන්දුව ලබාදෙමින් අධිකරණය මෙම නියෝගය ලබා දුන් බවයි නෙත් නිවුස් අධිකරණ වාර්තාකරු පැවසුවේ.

සෞඛ්‍ය අමාත්‍යවරිය විසින් තමන්ව ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ තනතුරුවලින් ඉවත් කිරීමට ගත් තීරණය නීති විරෝධී යැයි තීන්දු කොට එය බලරහිත කරන ලෙස ඉල්ලමින් ඔවුන් මෙම රිට් පෙත්සම් ගොනු කර තිබුණා. මොහොමඩ් ලෆාර් සහ එස්.යූ.බී.කරලියද්දගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසිනුයි මෙම තීන්දුව ලබා දුන්නේ.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල සඳහන් කළේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ හිටපු සභාපතිවරයා ඇතුළු සාමාජිකයින් ඉවත් කිරීමේදී වගඋත්තරකාර අමාත්‍යවරිය ද්වේශ සහගත සහ අත්තනෝමතික ආකාරයෙන් කටයුතු කර ඇති බවයි. ඉවත් කිරීමට පෙර පෙත්සම්කරුවන්ගෙන් කරුණු විමසීමක් සිදු කිරීමට හෝ ඔවුන්ට කරුණු දැක්වීමට  අවස්ථාවක් ලබාදීමට වග උත්තරකාර අමාත්‍යවරිය කටයුතු කර නොමැති බවත් විනිසුරුවරු නඩු තීන්දුවෙන් චෝදනා කර තිබෙනවා.

ඒ තුළින් අමාත්‍යවරිය ස්වභාවික යුක්ති ධර්මය නැමැති නීතිමය මූලධර්මය උල්ලංඝනය කර තිබෙන බවත් නඩු තීන්දුවේ සඳහන් බවයි නෙත් නිවුස් අධිකරණ වාර්තාකරු පැවසුවේ.