Saturday, April 20, 2024

General line - 0115112241

පරිභෝජනයට නුසුදුසු කිරිපිටි ටොන් 635ක් සමාගමකට විකිණීම ගැන විමර්ශනයක්




මිල්කෝ සමාගම විසින් මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු මෙටි්‍රක් ටොන් 635ක කිරිපිටි තොගයක් සත්ව ආහාර සඳහා එක් සමාගමකට අනුමැතියකින් තොරව අලෙවි කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් ඇරඹීමට කෘෂිකර්ම අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා. අමාත්‍යංශය පැවසුවේ එම කිරිපිටි තොගය එක සමාගමකට අලෙවි කිරීමට පියවර ගෙන තිබිය දී එම කටයුතු වහාම අත්හිටුවීමට තීරණය කර තිබූ බවයි.

ඒ සම්බන්ධව විමර්ශන කමිටුවක් පත් කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර, කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයාට උපදෙස් දී තිබුණා. ඒ අනුව අදාල කිරිපිටි තොගය එක සමාගමකට පමණක් අලෙවි කිරීම නතර කිරීමට අදාළ කමිටුව නිර්දේශ කර තිබූ බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය පැවසුවේ. එසේ තිබිය දී මිල්කෝ සමාගමේ ඉහළ බලධාරින් විසින් අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතියක් මත අදාල කිරිපිටි තොගය ඔවුන් තීරණය කළ සමාගමටම අලෙවි කර තිබෙනවා.

අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් පත් කරන ලද විමර්ශණ කමිටුවේ නිර්දේශ නොසළකා හරිමින් මෙලෙස මනුශ්‍ය පාරිභෝජනයට නුසුදුසු එම කිරිපිටි තොගය එක් සමාගමකට අලෙවි කිරීම සම්බන්ධයෙන් වහාම නිදහසට කරුණු ඉදිරිපත් කරන ලෙසයි කෘෂිකර්ම ලේකම්වරයා ලිපියක් මගින් දැනුම් දී ඇත්තේ. එමෙන්ම මේ සම්බන්ධයෙන් පුලුල් විමර්ශනයක් සිදු කිරීමට ද කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.