Thursday, April 18, 2024

General line - 0115112241

මෙරට අපනයන ආදායම ඉතිහාසයේ වැඩිම අගය වාර්තා කරයි




ශ්‍රී ලංකාව අපනයනනේ ඉපයූ ඉතිහාසයේ වැඩිම අගය 2022 වසරේදී වාර්තා කර තිබෙනවා. එය අමෙරිකානු ඩොලර් බිලියන 13කට අධිකයි. ශ්‍රී ලංකා මහ බැංකු පැවසුවේ 2022 වසරේ අපනයන ආදායම, 2021 වසරේ වාර්තා වූ ඉහළම අගයට වඩා සියයට 4යි දශම 9ක ඉහළ යෑමක් බවයි. මෙරට අපනයන ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 13 ඉක්මවා ගියේ ඉතිහාසයේ ප්‍රථම වරටයි. 

මීට පෙර ඉතිහාසයේ වැඩිම අපනයන ආදායම ලබා තිබුණේ 2021 වසරේයි. එහිදී ලද ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 12යි දශම 5ක්. ඉකුත් 2022 වසරේදී අමෙරිකානු ඩොලර් බිලියන 13යි දශම 1ක අපනයන ආදායමක් ලබා තිබෙනවා. මෙම වර්ධනය සඳහා ඇඟලුම්, මැණික්, දියමන්ති හා ස්වර්ණාභරණ, යන්ත්‍රසූත්‍ර හා යාන්ත්‍රික උපකරණ සහ ඛනිජ තෙල් නිෂ්පාදිත ඇතුළු කාර්මික අපනයන මෙම ආදායම ඉහළ යෑමට හේතු වී තිබෙනවා.

එහිදී වැඩිම ආදායමක් උපයා ඇත්තේ රෙදි පිළි සහ ඇගලුම් අපනයනයෙන්. 2021 වසරට සාපේක්ෂව 2022 වසරේ එහි අපනයන වැඩිවීම අමෙරිකානු ඩොලර් මිලියන 516යි දශම 9ක්. මැණික්, දියමන්ති සහ ස්වර්ණාභරණ ක්ෂේත්‍රයේ අපනයන ආදායමේ වැඩිවීම 2021 වසරට සාපේක්ෂව අමෙරිකානු ඩොලර් මිලියන 173යි දශම 8ක්.

ඉකුත් දෙසැම්බර් මාසයේදී වෙළඳ භාණ්ඩ අපනයන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 1,068ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එය 2021 වසරේ දෙසැම්බර් මාසය සාපේක්ෂව සියයට 7යි දශම 7ක ඉහළ යාමක්.

මේ අතර, 2022 වසරේ සමස්ත ආනයන වියදම, සියයට 11යි දශම 4ක පහළ ගොස් තිබෙනවා. එය දැක්වුණේ අමෙරිකානු ඩොලර් මිලියන 18,291ක් ලෙසයි. මේ සඳහා හදිසි නොවන ආනයන සීමා කීරීමට ගත් ක්‍රියාමාර්ග සහ 2022 වසරේ වැඩි කාලයක් වෙළඳපොළ තුළ පැවති විදේශ විනිමය ද්‍රවශීලතා ගැටළු හේතු වී තිබෙනවා.

එහි ප්‍රතිඵලයක් ලෙස 2022 වසරේ වෙළඳ ගිණුමේ හිඟය, 2021 වසරේ වාර්තා වූ අමෙරිකානු ඩොලර් මිලියන 8,139 සිට, 2010 වසරේ සිට වාර්තා වූ අවම අගය ලෙස, අමෙරිකානු ඩොලර් මිලියන 5,185 දක්වා පහළ ගොස් ඇති බවයි ශ්‍රී ලංකා මහ බංකුව වැඩිදුරටත් පැවසුවේ.