Friday, April 19, 2024

General line - 0115112241

දෙවන ලෝක යුද්ධය සිහිකරමින් රුසියානු ජනපතිගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්




වසර 80 කට පසුත් ඉතිහාසය යළි ලියවෙමින් ඇතැයි රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසනවා. විදෙස් මාධ්‍ය පැවසුවේ ස්ටෑලින්ග්‍රෑඩ් සටනේ 80 වන සැමරුමට එක්වෙමින් මොස්කව් නුවරදී රුසියානු ජනාධිපතිවරයා මේ බව පවසා ඇති බවයි.

දෙවන ලෝක යුද්ධයේදී ප්‍රධාන සංධිස්ථානයක් වූ ස්ටෑලින්ග්‍රෑඩ් සටනේදී ජර්මානු නාසි හමුදාව රුසියාව සමග අසාර්ථක සටනක නිරත වුණා. එය සැලකෙන්නේ දෙවන ලෝක යුද්ධයේ සිදු වූ මාරාන්තික සටනක් ලෙසයි. 

යුක්රේනය නිසා ඉතිහාසය යළි ලියැවෙමින් ඇති බවත්, විශ්වාස කළ නොහැකි වුවද සත්‍ය එය බවත් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසනවා. ඔහු සඳහන් කළේ ජර්මනිය යළිත් සිය යුද ටැංකි මගින් රුසියාවට තර්ජනය කරන බවයි. 

යුක්රේනයට අතිනවීන යුද තාක්ෂණයෙන් යුත් ලෙපර්ඩ් 02 වර්ගයේ යුද ටැංකි සැපයීමට ජර්මනිය ගත් තීරණය මගින් රුසියානු ජනාධිපතිවරයා දැඩි ලෙස උදහසට ලක් කර ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ. රුසියාව මෙතෙක් ඔවුන්ගේ දේශසීමා වෙත යුද ටැංකි යවා නොමැති බව ද ජනාධිපති පුටින් පවසා තිබෙනවා.

එහෙත් එවැනි ක්‍රියා සඳහා ප්‍රතිචාර දැක්වීමට ක්‍රම ඇති බවත්, එය සන්නද්ධ ගැටුමක්ම පමණක් නොවිය හැකි බැවින් සියලු පාර්ශව ඒ බව තේරුම් ගත යුතු බවටයි රුසියානු ජනාධිපතිවරයා අනතුරු අගවා ඇත්තේ. 

එමෙන්ම රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් එහිදී යුක්රේන යුද්ධය, ජර්මානු නාසි හමුදාවට එරෙහිව ගෙන ගිය යුද්ධය සමග සන්සංදනය කිරීම ජාත්‍යන්තර යුද විශ්ලේෂකයින්ගේ දැඩි අවධානයට යොමුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.