Saturday, April 20, 2024

General line - 0115112241

රජයේ නව බදු ප්‍රතිපත්තියට එරෙහිව විරෝධතා උත්සන්න වන ලකුණු




රජයේ නව බදු ප්‍රතිපත්තියට එරෙහි විරෝධතා මේවනවිට ක්‍රමක්‍රමයෙන් උත්සන්න වෙමින් තිබෙනවා. ඊට හේතුවී ඇත්තේ වෘත්තිකයින් ඇතුළු ක්ෂේත්‍ර රැසක පිරිස් විරෝධතාවලට එක්වීමයි.

ඒ අතරට පෞද්ගලික ආයතනවල සේවකයින් ද එක්ව සිටීම විශේෂත්වයක්. පෞද්ගලික අංශයේ සේවකයින්ගෙන් සමන්විත වූ සාධාරණ බදුකරණයක් සඳහා මහජන ව්‍යාපාරය ඊයේ පස්වරුවේ විරෝධතාවක ද නිරත වුණා. 

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රි පාඨලී චම්පික රණවක මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් පැවසුවේ අධික බදු බර හේතුවෙන් වෘත්තිකයින් රට හැර යාමෙන් ශ්‍රී ලංකාව මානව කාන්තාරයක් වීමේ අවදානමක් ඇති බවයි. 

මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසන්නේ තවමත් නිසිලෙස ආදායම් බදු නොගෙවන, කෝටි ගණනින් ආදායම් උපයන ඇතැම් පිරිස් සම්බන්ධයෙන් රජය දැඩි අවධානයක් යොමු කළ යුතු බවයි. 

මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව ඉකුත් දා අනාවරණ කළේ 2022 වසරේ අපනයන ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 13 ඉක්මවා ගොස් ඇති බවයි. සංචාරක ඉපැයීම් ද අමෙරිකානු ඩොලර් බිලියනයකට අධික වී තිබෙනවා. විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ ලැබීම් අමෙරිකානු ඩොලර් බිලියන 04 කට ආසන්නයි.

මහ බැංකුවේ දත්තවලට අනුව ආනයන වියදම ද අමෙරිකානු ඩොලර් බිලියන 20 සිට 18 දක්වා අඩුවී තිබෙනවා. ඒ අනුව 2010 වසරේ සිට වාර්තා වූ අඩුම වෙළඳ ගිණුම් ශේෂය 2022 වසරේදී වාර්තා කර තිබීම කැපී පෙනෙන තත්ත්වයක්. එහෙත් ආර්ථික ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් ප්‍රශ්න කරන්නේ අපනයන ආදායම නිසිලෙස රටට ලැබෙනවාදැයි ගැටළු සහගත බවයි. ඒ, ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයින් සිය ආදායම වෙනත් රටවල සගවා ඇති බවට ඉකුත් සමයේ එල්ල වූ චෝදනා ද සැලකිල්ලට ගනිමින්.