Friday, April 19, 2024

General line - 0115112241

අත්අඩංගුවට ගනු ලබන සැකකරුවන් ගැන පොලිස්පතිවරයාට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්




පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලබන සැකකරුවන් විවිධ විමර්ශන සඳහා රැගෙන යාමේදී පළා යාමට තැත් කළේ යැයි පොලිස් වෙඩි පහරින් මරණයට පත්වීමේ සිද්ධීන් නොකඩවා වාර්තා වන බැවින් එවැනි සිද්ධීන් පිටු දැකීමට අවශ්‍ය මාර්ගෝපදේශ මාලාවක් සකස් සකස් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පොලිස්පතිවරයාට නියෝග කර තිබෙනවා.

එම මාර්ගෝපදේශ මාලාව සියලුම පොලිස් නිලධාරීන් වෙත නිකුත් කිරීමට පියවර ගන්නා ලෙසයි ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර ඇත්තේ. එම නියෝගය සම්බන්ධයෙන් ගන්නා ලද ක්‍රියාමාර්ග කුමක් දැයි මාර්තු මස 24 වනදා අධිකරණය හමුවේ වාර්තා කරන ලෙස ද  ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පොලිස්පතිවරයා වෙත නියෝග කර තිබෙනවා. 

පොලිස් අත්අඩංගුවේ පසුවන සැකකරුවන් මේ ආකාරයෙන් මරණයට පත් වීම අයහපත් තත්වයක් යැයි පෙන්වා දෙන ශ්‍රේෂ්ඨාධිකරණය මේ තුළින් ශතවර්ෂය දෙකකට වඩා පැරණි ශ්‍රී ලංකා පොලිසියේ වෘත්තීයභාවය දැඩි අභියෝගයකට ලක් වන බවත් එමඟින් නීතිය බලාත්මක කරන ආයතන කෙරෙහි පවතින මහජන විශ්වාසය පලුදු වීමක් සිදුවන බවත් අදාළ තීන්දුවේ සඳහන් කර තිබෙනවා.

2008 වසරේ කොම්පඤ්ඤ වීදිය පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද එම්. එන්. මොහොමඩ් ඉර්ෆාන් නමැත්තා පොලිස් අත්අඩංගුවේ දී පොලිස් වෙඩි පහරකින් මරණයට පත්වීම තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට චෝදනා කරමින් ඔහුගේ බිරිඳ වූ එම්. ආර්. ෆාතිමා ෂර්මිලා නමැත්තිය ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක තීන්දුව දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම නියෝග නිකුත් කර තිබෙනවා.