Friday, April 19, 2024

General line - 0115112241

සිය වසකට පසු තුර්කියට බලපෑ ප්‍රබලතම භූ කම්පනයෙන් ලොවම කම්පා වෙයි - මියගිය ගණන 1,600 ඉක්මවයි




තුර්කියේ ගිනිකොණ දිග ප්‍රදේශයේ මිලියන 02 ක පිරිසක් ජීවත් වන ගාසිආන්ටෙප් නගරය ආසන්නයේ අද අළුයම සිදුවූ ප්‍රබල භූ කම්පනයෙන් මියගොස් ඇති පුද්ගලයින් ගණන 1600 ඉක්මවා තිබෙනවා.

භූ කම්පනය සිදුවී ඇත්තේ තුර්කියේ සිරියානු දේශසීමාව ආසන්නයේ බැවින් සිරියාවට ද දැඩි බලපෑම් එල්ල වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. භූ කම්පනයේ බලපෑමෙන් තුර්කියෙන් මරණ 1014 ක් වාර්තා වන අතර සිරියාවෙන් වාර්තා වන මරණ සංඛ්‍යාව 582 ක්.

භූ කම්පනය හේතුවෙන් තුවාල ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව 6000 කට අධික බවයි වාර්තා වන්නේ. තුර්කියට අද අළුයම 04 යි 17 ට බලපෑ පළමු භූ කම්පනය මැග්නිටියුඩ් ඒකක 7 යි දශම 8 ක ප්‍රබලතාවකින් යුක්ත වුණා.

එම  භූ කම්පනයෙන් අනතුරුව පසුකම්පන 42 ක් පමණ අදාළ ප්‍රදේශය ආශ්‍රිතව සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. අනතුරුව එරට වේලාවෙන් පස්වරු 1 යි 13 ට පමණ තවත් ප්‍රභල පසුකම්පනයක් සිදුව ඇති අතර එහි ප්‍රබලත්වය මැග්නිටියුඩ් ඒකක 7 යි දශම 5 ක්. ඉන් සිදුවූ බලපෑම හා ජීවිත හානි පිළිබඳ මෙතෙක් වාර්තා වී නොමැති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ

පළමු භූ කම්පනයේ ප්‍රභලත්වය කොතරම් ද යත් භූ කම්පනය සිදුවූ මිනිත්තු 08 කට පමණ පසු එහි සෙලවීම කිලෝමීටර් 5509 ක දුරින් පිහිටි ග්‍රීන්ලන්තයට ද දැනී තිබුණා. 

අමෙරිකාවේ නගර කිහිපයකට ද අද සුළු භූ කම්පන තත්ත්වයක් බලපා තිබූ බැවින් එරට කාලගුණ බලධාරීන් පවසන්නේ තුර්කියේ සිදුවූ භූ කම්පනය ලොව පුරා රටවල් රැසකට බලපෑම් එල්ල කර ඇති බවයි. විදෙස් මාධ්‍ය පවසන පරිදි  මියගිය හා තුවාල ලැබූ පිරිස තවදුරටත් ඉහළ යා හැකි බවයි පැවසෙන්නේ.

පළමු භූ කම්පනය සිදුවූවේ අළුයම බැවින් ජනතාව නිදියහනේදීම අපදාවට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා. භූ කම්පනවල බලපෑම් එල්ල වූ තුර්කියේ හා සිරියාවේ අදාළ ප්‍රදේශවල ගොඩනැගිලි සම්පූර්ණයෙන් පාහේ විනාශයට පත්ව තිබෙනවා. පවතින සීත කාලගූනය වර්ෂාව හා පසු කම්පන තත්ත්වයන් හමුවේ මුදා ගැනීමේ මෙහෙයුම් සඳහා බාධා එල්ල වී ඇති බවයි පැවසෙන්නේ. ආපදාවලින් දිවි බේරා ගත් පිරිස් මේවනවිට උත්සහ කරමින් සිටින්නේ දැඩි ශිත කාලගුණයෙන් දරුවන් ආරක්ෂා කර ගැනීමට බව ද විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙනවා.

තවත් බොහෝ පිරිසක් කඩා වැටුණු ගොඩනැගිලි තුළ සිරවී සිටින බවද එම වාර්තාවල සදහන්. සිරියාවේ කඩාවැටුනු සුන්බුන් අතරින් මුදා ගැනෙන බොහෝ පිරිසක් කුඩා ළමුන් බව ද විදෙස් මාධ්‍ය පවසනවා. තුර්කියේ පළාත් 07 ක් පමණ භූ කම්පනයේ බලපෑමට ලක්ව අර්ධ වශයෙන් හෝ සම්පූර්ණයෙන් විනාශයට පත්ව ඇති බවයි පැවසෙන්නේ. 1933 වසරින් පසුව තුර්කියට බලපෑ දරුණුතම භූ කම්පනය මෙය බවයි තුර්කි ජනාධිති රිසෙප් තායිප් අර්ඩගොන් පවසා ඇත්තේ.

පවතින ආපදා තත්ත්වයට තනිව මුහුණදිය නොහැකි බැවින් තුර්කි ජනාධිපතිවරයා ජාත්‍යන්තරයේ සහය ඉල්ලා ඇති බවයි වාර්තා වන්නේ. ඒ හමුවේ අමෙරිකාව රුසියාව චීනය ප්‍රංශය  ඉන්දියාව මෙන්ම යුක්රේනය පවා මේවනවිටත් සහන කටයුතු සඳහා සහය ලබාදීමට ඉදිරිපත්ව සිටිනවා. තුර්කියේ සිදුවූ මෙම ඛේදවාචකයක සම්බන්ධයෙන් ලෝක නායකයන් රැසක් සිය ශෝකය පළ කර තිබෙනවා.