Saturday, April 20, 2024

General line - 0115112241

තුර්කි භූමිකම්පාවෙන් ළමුන් දහස් ගණනක් මිය යාමේ අවදානමක් - ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා කාලගුණයෙන් බාධා 




දකුණු දිග තුර්කියට සහ සිරියාවට බලපෑ ප්‍රබල භූකම්පන හේතුවෙන් ළමුන් දහස් ගණනකගේ ජිවිත අහිමි වීමේ අවදානමක් ඇති බව යුනුසෙෆ් සංවිධානය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරන්නේ භුමිකම්පාවන් හේතුවෙන් මියගිය සංඛ්‍යාව 20,000 ඉක්මවනු ඇති බවයි.  

එමෙන්ම ළමුන් මිලියන 1.4ක් ද ඇතුළුව මිලියන 23 කට අධික ජනතාවක් මේ හේතුවෙන් බලපෑමකට ලක්විය හැකි බවයි එම සංවිධානය නිකුත් කළ වාර්තා වේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

මේ අතර භූමිකම්පාවෙන් දැඩි සේ හානියට පත්ව ඇති තුර්කියේ Hatay නගරයේ වැසියන් කඩා වැටුණු ගොඩනැගිලි සුන්බුන් වලට යටවී සිටින අතර ඔවුන් තමන් බේරා ගන්නැයි ඉල්ලා කෑ ගසන බවයි සහන සේවකයින් පවසන්නේ.

දකුණු දිග තුර්කියේ මැග්නිටියුඩ් 7.8 ක භූමිකම්පාව සිදුවූ අපි කේන්ද්‍රයේ සිට වර්ග කිලෝමීටර් 200ක් අවට ප්‍රදේශයේ පිහිටි නගර සහ එහි ගොඩනැගිලි විශාල සංඛ්‍යාවක් විනාශයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ.

මේ අතර භූමිකම්පාවෙන් ප්‍රබල හානි සිදුවූ තුර්කියේ සහ සිරියාවේ පසුකම්පන තවමත් වාර්තා වන බැවින් දහස් සංඛ්‍යාත ජනතාව සිය නිවෙස් වලින් ඉවත්වී සිය මෝටර් රථ තුල දිවි ගෙවීමට පියවර ගෙන ඇති බව සඳහන්. 

ඒ මේ වන විටත් මහල් නිවාස ඇතුළු ගොඩනැගිලි 5,300 කට අධික සංඛ්‍යාවක් කඩා වැටීම නිසා ඔවුන් දැඩි භීතිකාවට පත්ව සිටීම හේතුවෙන්ය.

දකුණු දිග තුර්කියට සහ සිරියාවට බලපා ඇති අධික හිම පතනයත් සමග වන ශිත දේශගුණය ගලවා ගැනීමේ මෙහෙයුම් වලට දැඩි බාධාවක් වී ඇති අතරම සුන්බුන් අතර සිරවී සිටින පුද්ගලයින්ගේ සෞඛ්‍ය තත්ත්වයට ද එය දැඩි සේ බලපෑම් එල්ල කරනු ලබන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ.

මේ අතර අමෙරිකාව, බ්‍රිතාන්‍ය, ඉන්දීයාව, චීනය ඇතුළු ලොව රටවල් රැසකින් විපතට පත්වූවන් සඳහා සහන සැලසීම සඳහා ගලවා ගැනීමේ නිලධාරින් සහ ආධාර තුර්කිය සහ සිරියාව වෙත යොමු කර ඇති බව සඳහන්.