Thursday, March 28, 2024

General line - 0115112241

දුමින්ද සිල්වාට ජනපති සමාව දීමට එරෙහි පෙත්සම විභාගයට ගැනේ




භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය හිමිව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ජනාධිපති සමාව යටතේ නිදහස් කිරීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගත් තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාගයට ගැනුණා.

ඒ, ප්‍රීති පද්මන් සූරසේන, ගාමිණි අමරසේකර සහ අර්ජුන ඔබේසේකර යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේයි.

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍රගේ බිරිඳ වන සුමනා ප්‍රේමචන්ද්‍ර, දියණිය හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සහ මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස්වරයකු වන ගසාලි හුසේන් යන අය විසින් අදාළ පෙත්සම් ඉදිරිපත් කර තිබුණා.

එහිදී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම් ඒ සුමන්දිරන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මරණීය දණ්ඩනය නියමව සිටි වග උත්තරකාර දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ප්‍රදානය කිරීමේදී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, පිළිගත් නීතිමය පටිපාටිය අනුගමනය කර නොමැති බව පෙන්වා දුන්නා.

එබැවින් වග උත්තරකරුට පිරිනමන ලද සමාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත්, එය බල රහිත කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට හැකියාවක් තිබෙන බවත් ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නා. 

ඉන් අනතුරුව සුමනා ප්‍රේමචන්ද්‍ර වෙනුවෙන් පෙනී සිටි නීතිඥ එරාජ් සිල්වා කරුණු දක්වමින් කියා සිටියේ වරදකරු වූ පුද්ගලයකුට සමාව ප්‍රදානය කිරීමේදී නීතිපතිවරයාගෙන් වාර්තාවක් කැදවීම අවශ්‍ය වුවත් මෙම සිද්ධියේදී  එවැනි වාර්තාවක් කැඳවීමට හිටපු ජනාධිපතිවරයා කටයුතු කර නොමැති බවයි. 

අනතුරුව එම නඩුවේ වැඩිදුර විභාගය මාර්තු මස 20, 23 සහ 28 යන දින තෙක් කල් තැබුණා.