Saturday, May 11, 2024

General line - 0115112241

චීනය ඔත්තු බලන අලුත්ම විදිහ ගැන අමෙරිකාව හෙළිකරයි




චීනයේ නවතම ඔත්තු බැලීමේ යාන්ත්‍රණය ගැන අමෙරිකානු බුද්ධි අංශවලින් අනාවරණයක් 

පසුගිය සතියේ මිලියන සංඛ්‍යාත ඇමරිකානුවන් නොසන්සුන්තාවයට පත් කළ චීනයේ 'ඔත්තු බැලූ බැලූනය' චීන ආණ්ඩුව විසින් ගෝලීය නිරීක්ෂණ කුමන්ත්‍රණයක කොටසක් බව වාර්තා වනවා.

අමෙරිකාවේ බුද්ධි මූලාශ්‍ර තුනක් උපුටා දක්වමින් නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පත වාර්තා කරන්නේ පසුගිය සතියේ සිදුවූ මෙම සිදුවීම චීනය විසින් ක්‍රියාවට නංවා ඇති ගෝලීය ඔත්තු බැලීමේ ප්‍රයත්නයක කොටසක් බවයි.

ඇමරිකානු හමුදා කඳවුරු මෙන්ම අනෙකුත් රටවල යුධ හැකියාවන් පිළිබඳ වැඩිදුර තොරතුරු රැස් කිරීම එහි ඉලක්කය වී ඇති බවයි බුද්ධි වාර්තා පෙන්වා දෙන්නේ.

මහාද්වීප පහක් හරහා අවම වශයෙන් විවිධ රටවල් 12 ක මෙම චීන නිරීක්ෂණ උපකරණය හඳුනා ගෙන ඇති බව සඳහන්.

චීනය විසින් යොමු කර තිබු එම ඔත්තු බැලීමේ බැලුනයට පසුගිය සෙනසුරාදා දකුණු කැරොලිනා වෙරළට ඔබ්බෙන් වූ මුහුදු දේ දී අමෙරිකානු ගුවන් හමුදා ජෙට් යානාවක් විසින් මිසයිල ප්‍රහාරයක් එල්ල කොට බිම හෙලන ලදියි.

මෙම චීන බැලුනය පළමු වරට ඉකුත් ජනවාරි 28 වන දින අමෙරිකානු භූමි ප්‍රදේශය තරණය කරන බව හඳුනා ගන්නා ලදී. එය කැනඩාව හරහා ගමන් කර පසුව එය පෙබරවාරි 4 වන දින බිම හෙලීමට පෙර අමෙරිකාවේ ප්‍රාන්ත කිහිපයක් හරහා ගමන් කොට තිබුණි.

ජනාධිපති ජෝ බයිඩන් පසුගිය සතියේ බදාදා චීන බැලුනයට වෙඩි තැබීමට නියෝගයක් ලබා දුන් නමුත් ආරක්ෂක නිලධාරීන් අනතුරු ඇඟවූයේ කඩා වැටෙන සුන්බුන් තවදුරටත් භූමියේ සිටින ඇමරිකානුවන්ට අවදානමක් නොවන පරිදි සිදුකිරීම ආරක්ෂිත බවයි.

තොරතුරු රැස් කිරීම සඳහා චන්ද්‍රිකා හරහා මෙවැනි උපකරණ භාවිතා කිරීමේ ප්‍රතිලාභ පවතින අතර එමගින් භුමියේ ඇති දේ සම්බන්ධයෙන් පැහැදිලි රූප ලබා ගැනීමේ හැකියාව ඇතුළත් බවයි ඇමරිකානු නිලධාරීන් ප්‍රකාශ කර සිටියේ.

පෙන්ටගනය පැවසුවේ සෙනසුරාදා වෙඩි තැබූ බැලූනය බයිඩ්න්  පරිපාලනය යටතේ අනාවරණය වූ දෙවන උපකරණය බවයි.

හිටපු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ පාලන සමයේදී එවැනි බැලූන් තුනක් අමෙරිකානු භුමිය හරහා ගමන් කොට ඇති බවයි බයිඩ්න් ගේ පාලනයේ ඇති ආරක්ෂක බලධාරීන් සඳහන් කර සිටියේ.

හිටපු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජාතික ආරක්ෂක උපදේශක ජෝන් බෝල්ටන් CNN පුවත් සේවය සමග පවසා සිටියේ මෙම චීන බැලුනය අලුත් සිදුවීමක් ද යන්නයි.