Tuesday, May 7, 2024

General line - 0115112241

අමෙරිකාව තවත් සැකකටයුතු පියාසර වස්තුවක් බිම හෙළයි




අමෙරිකාව සිය ගුවන් කලාපයට ආසන්නයේ පියාසර කළ හඳුනා නොගත් තවත් වස්තුවකට වෙඩි තබා බිම හෙළා තිබෙනවා.

ජනාධිපති ජෝ බයිඩ්න් ගේ නියෝගයකට අනුව අමෙරිකානු එෆ් 16 වර්ගයේ ප්‍රහාරක යානා කැනේඩියානු දේශ සීමාව ආසන්නයේ හූරොන් විලට ඉහළ අහසේදී එම හඳුනා නොගත් වස්තුවට ප්‍රහාර එල්ල කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මුහුදු මට්ටමේ සිට අඩි 20,000ක් පමණ ඉහළ අහසේ පියාසර කරමින් තිබියදී එම හදුනානොගත් වස්තුවට වෙඩි තැබූ බවද අමෙරිකානු ආරක්ෂක අංශ ප්‍රකාශ කර තිබෙනවා.

චීනය විසින් ඔත්තු බැලීම සඳහා යෙදවූ බවට සැකකෙරෙන බැලූනයක් අමෙරිකානු ආරක්ෂක අංශ විසින් බිම හෙළනු ලැබුවේ ඉකුත් පෙබරවාරි 4වනදායි.

එම සිද්ධිය ලොව පුරා දැඩි කතාබහක් ඇති කළා. එම සිද්ධියෙන් පසු අමෙරිකානු කලාපයට ඉහළින් පියාසර කරමින් තිබියදී වෙඩි තබා බිම හෙළන ලද 4වන ආකාශ වස්තු මෙය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.