Monday, May 13, 2024

General line - 0115112241

අමෙරිකානු ප්‍රහාරයකින් ත්‍රස්ත නායකයෙකු ජීවිතක්ෂයට 




ඊසානදිග සිරියාවේ දී අමෙරිකානු හමුදාව විසින් සිදුකළ විශේෂ මෙහෙයුමකින් ISIS නායකයෙකු ඝාතනය කර තිබෙනවා. 

කුර්දි සටන්කාමින් සහ අමෙරිකානු මධ්‍යම විධානය විසින් එකාබද්ධව සිදුකරනු ලැබූ එම මෙහෙයුමෙන් සිරියාවේ සැඟව සිටි ISIS ත්‍රස්ත කණ්ඩායමේ ජේෂ්ඨ නායකයෙකු බව කියන හම්සා අල් - හොම්සි ඝාතනය කර තිබේ.

මෙම මෙහෙයුමේදී අමෙරිකානු හමුදා භටයින් සිව්දෙනෙකු සහ විශේෂ පුහුණුව ලත් සුනඛයෙක් ද තුවාල ලබා ඇති බවයි එරට ආරක්ෂක දෙපාර්තමේන්තුව පසුව නිවේදනය කර සිටියේ.

නැගෙනහිර සිරියාවේ ත්‍රස්ත ක්‍රියාකරකම් මෙහෙයවීම සහ උපාය මාර්ගික සැලසුම් සකස් කිරීම භාරව සිට ඇත්තේ ISIS ත්‍රස්ත කණ්ඩායමේ ජේෂ්ඨ නායක හම්සා අල් - හොම්සි බවයි අමෙරිකානු ආරක්ෂක අංශ සඳහන් කළේ.

මේ අතර වෙනත් මෙහෙයුමකින් ද ISIS ත්‍රස්ත නායකයෙකු ඝාතනය කිරීමට අමෙරිකානු ආරක්ෂක අංශ ඉකුත් බ්‍රහස්පතින්දා කටයුතු කර ඇති අතර එම මෙහෙයුම පිලිබඳ තොරතුරු මෙතෙක් මාධ්‍ය වෙත නිකුත් කර නොමැත.