Saturday, May 11, 2024

General line - 0115112241

අමෙරිකාව සමග ඇති න්‍යෂ්ටික ගිවිසුම අත්හැරීමට පුටින්ගෙන් තීරණයක්




අමෙරිකාව සමග එළඹ සිටින න්‍යෂ්ටික අවි පාලන ගිවිසුමෙන් ඉවත් වන බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අද නිවේදනය කළා. රුසියානු ජනාධිපතිවරයා හදිසියේ එවැන්නක් නිවේදනය කළේ අද ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදුකරමින්.

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ජාතිය ඇමතීම හා අමෙරිකාව සමග එළඹ තිබූ ප්‍රධාන නයෂ්ටික අවි පාලන ගිවිසුම අත්හරින බව නිවේදනය කිරීම සිදුවූයේ අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න්ගේ යුක්රේන සංචාරයෙන් දිනකට පසුව වීම විශේෂත්වයක්. 

මෙම න්‍යෂ්ටික අවි පාලන ගිවිසුමට අමෙරිකාව සහ රුසියාව පළමු වරට එළඹ තිබුණේ 2010 වසරේදීයි. අනතුරුව 2021 වසරේදී තවත් වසර 05 ක කාලයක් සඳහා එම ගිවිසුම දීර්ඝ කිරීමට දෙරට එකග වී තිබුණා. ඊට අමතරව යුක්රේන යුද්ධයට බටහිර රටවල් වගකිව යුතු බවටයි රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් චෝදනා කර ඇත්තේ. 

මේ අතර රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් නේටෝ සංවිධානයේ දැඩි අවධානය යොමුව තිබෙනවා. එහි මහලේකම්වරයා රුසියාවෙන් ඉල්ලා ඇත්තේ අමෙරිකාව සමග එළඹ සිටින න්‍යෂ්ටික අවි පාලන ගිවිසුමෙන් ඉවත්වීමට ගත් තීරණය සම්බන්ධයෙන් යළි සලකා බලන ලෙසයි.