Sunday, May 12, 2024

General line - 0115112241

චීන විදේශ ඇමති, රුසියානු ජනපති හමුවෙයි




රුසියාවේ සංචාරයක නිරත වී සිටින චීන විදේශ අමාත්‍ය වැන්ග් යී රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් හමුවී තිබෙනවා. ඒ රුසියානු ජනාධිපති මන්දිරයේදීයි.

රටවල්වල බලපෑම්වලට යටත්ව දෙරටෙහි සබඳතා පළුදු නොවන බවයි චීන විදේශ අමාත්‍යවරයා එහිදී පවසා ඇත්තේ. චීනය සහ රුසියාව අතර පවතින උපාය මාර්ගික සබඳතා තවදුරටත් වර්ධනය කර ගත යුතු බව ද චීන විදේශ කටයුතු අමාත්‍යවරයා එහිදී පවසා තිබෙනවා.

මේ අතර චීන ජනාධිපති ෂී ජින්පින් සංචාරයක් සඳහා රුසියාවට පැමිණීමට අපේක්ෂාවෙන් සිටින බවයි රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් චීන විදේශ අමාත්‍යවරයාට පවසා ඇත්තේ. චීන විදේශ කටයුතු අමාත්‍යවරයා රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් සමග ද සාකච්ඡා පවත්වා ඇති බවයි වාර්තා වන්නේ.

විදේශ කටයුතු අමාත්‍ය වැන්ග් යී යනු චීන රජයේ ඉහළම රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙක්. එවන් පසුබිමක් තුළ ඔහු මොස්කව් වෙත පැමිණ ඇත්තේ අමෙරිකාව සහ රුසියාව අතර දැඩි මතභේදාත්මක තත්ත්වයක් මතුව ඇති පසුබිමකදී වීම විශේෂත්වයක්.

එමෙන්ම යුක්රේන යුද්ධය හමුවේ රුසියාවට සහය ලබා නොදෙන ලෙස ජාත්‍යන්තරයේ පාර්ශව රැසක් චීනයෙන් ඉල්ලීම් කර ඇති පසුබිමකයි එරට විදේශ අමාත්‍ය වැන්ග් යී රුසියාවට පැමිණ සිටින්නේ.