Sunday, May 12, 2024

General line - 0115112241

දේශසීමා හරස් වී ඉන්දු පකිස්ථාන ආදරයක් සිර කූඩුවෙන් නවතී




සිර කූඩුවෙන් නතර වුණු ඉන්දු පකිස්ථාන ආදර කතාවක් සම්බන්ධයෙන් ජාත්‍යන්තර මාධ්‍ය අද වැඩි අවධානයක් යොමු කර තිබුණා. මෙම තරුණයා 21 හැවිරිදි යාදෙව් සිං නම් වූ ඉන්දීය ජාතික හින්දු තරුණයෙක්. තරුණිය 19 හැවිරිදි ඉක්රා ජීවනී නම් පකිස්ථාන ජාතික මුස්ලිම් තරුණියක්.

ඔවුන් දෙදෙනා අතර ප්‍රේම සම්බන්ධය ආරම්භ වී ඇත්තේ 2020 වසරේ කොවිඩ් සමයේ රටවල් දෙකම ලොක් ඩවුන් කළ කාලයේයි. ලොව පුරා ජනප්‍රිය අන්තර්ජාල ක්‍රීඩාවක් හරහා ඔවුන් පළමුව හඳුනාගෙන තිබුණා. 

එහෙත් ඔවුන් දෙදෙනාගේ ප්‍රේමයට මුලින්ම හරස් වී ඇත්තේ දේශසීමාවයි. පසුව ඔවුන් දෙදෙනා නේපාලයට ගොස් විවාහ වී තිබෙනවා. අනතුරුව ඔවුන් හොර රහසේ ඉන්දියාවේ බැංගලෝර් නගරයට පැමිණ එකට ජීවත් වීම ආරම්භ කළා.

රහසිගතව ජීවත් වූ මෙම යුවල පිළිබඳ ඉන්දීය පොලිසියට පළමු වරට ඇස ගැටී ඇත්තේ තරුණිය විසින් පකිස්ථානයේ සිටින තම මවට අන්තර්ජාලය ඔස්සේ නිරන්තරයෙන් ඇමතුම් ලබා ගැනීමත් සමඟයි. 

එහෙත් ඔවුන්ගේ ආදරයට මීළඟට හරස් වී ඇත්තේ පකිස්ථාන තරුණියගේ ඉන්දීය ආගමනයයි. නීතිවිරෝධී ලෙස ඉන්දියාවට ඇතුළු වීම සම්බන්ධයෙන් ජීවනී නම් තරුණිය ඉන්දීය ආරක්ෂක අංශ සිය භාරයට ගෙන ඇති අතර ඇගේ සැමියා වූ යාදෙව් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, ව්‍යාජ හැදුනුම්පතක් ලබා ගැනීමට පකිස්ථාන කාන්තාවකට උදව් කිරීමේ චෝදනාව මතයි.