Sunday, May 12, 2024

General line - 0115112241

කුරුළු උණ වෛරසයෙන් දැරියක් ජිවිතක්ෂයට 




11 හැවිරිදි දැරියක් කුරුළු උණ රෝගයෙන් මියගිය බව සෞඛ්‍ය බලධාරීන් තහවුරු කර සිටිනවා. එම දැරියට H5N1 කුරුළු උණ වෛරසය වැළඳී ඇති බවයි සෞඛ්‍ය බලධාරීන් අනාවරණය කර සිටියේ.

ඇය සතියකට පෙර දැඩි උණ, කැස්ස සහ උගුරේ අමාරුව වැනි රෝග ලක්ෂණ පෙළුණු බවයි සෞඛ්‍ය අංශ සඳහන් කලේ. වසර නවයකට පසු පළමු වරට කාම්බෝජයෙන් වාර්තා වූ පළමු කුරුළු උණ ආසාදිත මරණය මෙය වේ.

කාම්බෝජයේ සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ මෙම දැරියගේ පියා ද ඇතුළුව තවත් 11 දෙනෙකුට කුරුළු උණ වෛරසය ආසාදනය වී ඇති බවයි.

බ්‍රහස්පතින්දා සෞඛ්‍ය අමාත්‍ය Mam Bunheng කියා සිටියේ 2014 න් පසු කාම්බෝජයේ H5N1 වෛරසය මිනිසෙකුට ආසාදනය වී ඇති බවට තහවුරු වූ  පළමු අවස්ථාව මෙය බවයි.

කුරුළු උණ ආසාදනය වී මියගිය එම දැරියගේ ගම අසලින් මියගිය කුරුල්ලන් කිහිප දෙනෙකුගේ සාම්පල නිලධාරීන් විසින් එකතු කර ඇත. මියගිය හෝ අසනීප වූ පක්ෂීන් ස්පර්ශ කිරීමෙන් වළකින ලෙස සෞඛ්‍ය නිලධාරීන් විසින් ජනතාවට දැනුම් දී ඇත.

කාම්බෝජය අවසන් වරට කුරුළු උණ රෝගයක් වාර්තා කර ඇත්තේ 2014 වසරේදීය. ඊට පෙර දශකය තුළ H5N1 ආසාදිතයන් 56ක් වාර්තා වූ අතර ඉන් 37 දෙනෙකු ජිවිතක්ෂයට පත්විය.

මිනිසුන්ට කුරුළු උණ ඇතිවීම දුර්ලභ වුවත් වෛරසය ආසාදිත කුකුළුන් ඇතුළු පක්ෂීන් සමඟ වැඩ කරන පුද්ගලයින්ට එය ආසාදනය වීමේ වැඩි අවදානමක් ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් 2021 වර්ෂයේ සිට චීනය, ඉන්දියාව, ස්පාඤ්ඤය, එක්සත් රාජධානිය සහ අමෙරිකාවෙන් H5N1 කුරුළු උණ වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 08ක් වාර්තා වී ඇත.

2021 වර්ෂයේ ඔක්තෝම්බර් මාසයේ සිට ලොවපුරා අලුතින් ව්‍යාප්ත වන කුරුළු උණ වෛරසය හේතුවෙන් ලොවපුරා පක්ෂීන් අතර ව්‍යාප්ත වෙමින් පවතී.

ගෘහස්ථ පක්ෂීන් මිලියන 15 කට ආසන්න ප්‍රමාණයක් මෙම  වෛරසයෙන් මිය ගොස් ඇති අතර තවත් පක්ෂින් මිලියන 193 කට වඩා වැඩි ප්‍රමාණයක් මරා දමා ඇත.

මේ වන විට ව්‍යාප්ත වෙමින් පවතින කුරුළු උණ වෛරස් ප්‍රභේදය මින්ක්ස් සහ ඔටර් වැනි ක්ෂීරපායීන්ට ද ආසාදනය වී තිබෙන අතර ලෝක සෞඛ්‍ය සංවිධානය මිට සති කිහිපයකට පෙර සඳහන් කළේ වෛරසය සම්බන්ධයෙන් ඉතා අවදානයෙන් යුතුව නිරීක්ෂණය කළ යුතු බවයි.