Saturday, May 11, 2024

General line - 0115112241

රාජ්‍ය ලේකම්වරයාගේ ඉන්දීය සංචාරයක් අභියස චීන ණය ගැන අමෙරිකාවේ දැඩි අවධානය




ශ්‍රී ලංකාව සහ පකිස්තානය වැනි ආසියානු රටවලට විශේෂයෙන්ම ඉන්දියාවේ සමීපතම රටවල් සඳහා චීනය ලබාදී ඇති ණය සම්බන්ධයෙන් අමෙරිකාවේ දැඩි අවධානය යොමුව තිබෙනවා. එම ණය චීනය විසින් බලපෑම් එල්ල කළ හැකි බලයක් ලෙස භාවිත කළ හැකිදැයි අවධානයෙන් සිටින බවයි අමෙරිකාව පවසන්නේ.

දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ අමෙරිකානු සහකාර ලේකම් ඩොනල්ඩ් ලූ මේ බව පැවසුවේ ශ්‍රී ලංකාවට සහ පකිස්තානයට ලබා දී ඇති චීන ණය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් මතු කල ගැටළුවකදීයි.

ඉන්දීයාවේ සමීපතම රටවල් සඳහා සිය තීරණ ගැනීමේදී සහය විය යුත්තේ කෙසේද යන්න සම්බන්ධයෙන් ඉන්දියාව සමග මෙන්ම එම රටවල් සමග ද සාකච්ඡා කරන බවයි ඔහු එහිදී සඳහන් කර ඇත්තේ. එම සාකච්ඡා චීනය ඇතුළු ඕනෑම බාහිර හවුල්කරුවෙකු විසින් බලපෑම් කළ හැකි තීරණ සම්බන්ධයෙන් නොවන බව ද ඔහු සඳහන් කළා. 

මේ අතර අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් ඉන්දියාවේ සංචාරයකට සූදානම් වනවා. විදෙස් මාධ්‍ය පැවසුවේ මාර්තු 01 වන දා අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා ඉන්දියාවට පැමිණීමට නියමිත බවයි. එහිදී ඔහු ඨ20 රටවල විදේශ අමාත්‍යවරුන්ගේ හමුවට සහභාගී වීමට නියමිත බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළා. 

ඊට අමතරව අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා සහ ඉන්දියාවේ ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් අතර දෙරටෙහි සබඳතා වර්ධනය කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමට ද නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මේ අතර ණය බරින් සහ ආර්ථිකය කඩා වැටීමේ අභියස සිටින පකිස්තානයට චීනය ඊයේ තවත් මූල්‍ය ප්‍රදානයක් සිදුකර තිබෙනවා. විදෙස් මාධ්‍ය පැවසුවේ චීන සංවර්ධන බැංකුව විසින් පකිස්තානයේ රාජ්‍ය බැංකුවට අමෙරිකානු ඩොලර් මිලියන 700 ක මුදලක් ලබාදී ඇති බවයි.