Saturday, May 11, 2024

General line - 0115112241

ඖෂධ හිගයෙන් පකිස්තානයේ රෝහල් අර්බුදයක




පකිස්තානය මුහුණ පා සිටින දරුණු ආර්ථික අර්බුදයේ ප්‍රතිපලයක් ලෙස එරට සෞඛ්‍ය පද්ධතිය ද කඩා වැටීමට ආසන්න වී ඇතැයි විදෙස් මාධ්‍ය පවසනවා. පවතින තත්ත්වය හමුවේ පකිස්තානය තුළ රෝගීන් ඔවුන්ට අවශ්‍ය ඖෂධ සොයා ගැනීමේ අරගලයක නිරත වී සිටින බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

පකිස්තානයේ විදේශ විනිමය වාර්තාගත ලෙස පහළ වැටීම හමුවේ ඖෂධ හා ඖෂධ නිෂ්පාදනය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනයට බලපෑම් එල්ල වී ඇති බවයි පැවසෙන්නේ. එය මෙම ඖෂධ හිගයට ප්‍රධාන හේතුව වී තිබෙනවා. ඖෂධ හා වෛද්‍ය උපකරණ නොමැතිවීම හේතුවෙන් පකිස්තානයේ වෛද්‍යවරුන් රෝහල්වල සැත්කම් සිදුකිරීමේදී දැඩි අසීරුතාවන්ට මුහුණ පා සිටින බවයි වාර්තා වන්නේ.  

පකිස්තාන මාධ්‍ය වාර්තා කරන්නේ රෝහල්වල ශල්‍යාගාර තුළ සිදුකෙරෙන සංවේදී සැත්කම් සඳහා අවශ්‍ය නිර්වින්දන ඖෂධ පවතින්නේ සති 02 කටත් වඩා අඩු කාලයක් සඳහා පමණක් ප්‍රමාණවත් වන පරිදි බවයි. පකිස්තානය තුළ නිපදවන ඖෂධ සඳහා බෝහෝවිට අමුද්‍රව්‍ය ආනයනය කරන්නේ ඉන්දියාවෙන් සහ චීනයෙන්.

එහෙත් පවතින ඩොලර් අර්බුදය හමුවේ ඖෂධ සඳහා අවශ්‍ය ඇතැම් අමුද්‍රව්‍ය තොග ආනයනය කර කරච්චි වරායේ තිබුණ ද ඒවා මුදා ගැනීම සඳහා අවශ්‍ය ඩොලර් මුදාහැරීමට බලධාරීන් පියවර ගෙන නොමැති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.