Thursday, April 25, 2024

General line - 0115112241

අධික වියදම් විවාහ චාරිත්‍ර වෙනස් කිරීමට චීනය සැරසෙයි




ජනගහනය සහ උපත් අනුපාතය පහළ යාම හමුවේ ගැටළු රැසකට මුහුණ පා සිටින චීනය, දරු උපත් අනුපාතය ඉහළ නැංවීමට සැලසුම් සකස් කරමින් සිටිනවා. එහි ප්‍රතිපලයක් ලෙස මිල අධික විවාහ චාරිත්‍රයක් සමාජයෙන් ඉවත් කිරිමට චීන බලධාරීන් සැලසුම් කරමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එමගින් විවාහ ජීවිතයට ඇතුළත් වීම සඳහා තරුණ ප්‍රජාව දිරිමත් කිරීම චීනයේ අරමුණයි. ඒ අනුව චීන සමාජය තුළ විවාහ ගිවිස ගැනීමේ උත්සවයකදී සම්ප්‍රදායක් ලෙස මනමාලයා විසින් මනමාලියගේ පාර්ශවය වෙත මුදල් ත්‍යාග ලබා දෙනවා.

ඒ හරහා මනාලයා විසින් මනමාලියගේ පාර්ශවය වෙත සිය අවංකභාවය සහ ධනය පෙන්නුම් කරන බව චීන සමාජය තුළ පවතින විශ්වාසයයි. එය දියණියක් ඇති දැඩි කිරීම වෙනුවෙන් මනාලියගේ පවුලට ලබාදෙන ත්‍යාගයක් ලෙසයි සැලකෙන්නේ.

විදෙස් මාධ්‍ය පවසන පරිදි චීනයේ සිදුවන විවාහවලින් හතරෙන් තුනකට ආසන්න ප්‍රමාණයකට මෙම චාරිත්‍රය ඇතුළත් වනවා. එම චාරිත්‍රය වෙනුවෙන් මනාලයන්ට විශාල මුදලක් ගෙවීමට සිදුවන බැවින් එම චාරිත්‍රය සමාජයෙන් ඉවත් කිරීම සඳහා චීන බලධාරීන්ගේ අවධානය යොමුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.