Thursday, May 16, 2024

General line - 0115112241

මගේ අම්මාට වයස අවුරුදු 88යි. ඇය ගෙදර ඉඳන් බලාගෙන ඉන්නවා - ඔස්කාර් සම්මානය දිනු වියට්නාම් ජාතික සරණාගත නළුවා 




95 වෙනි ඔස්කාර් සම්මාන උළලේදී සම්මාන 07ක් දිනා ගනිමින් ලොවපුරා ජනතාවගේ අවදානය දිනා ගනු ලැබූ Everything Everywhere All at Once චිත්‍රපටයයි. එම චිත්‍රපටයේ රංගන දායකත්වය නිසා හොඳම සහය නළුවාට හිමි ඔස්කාර් සම්මානය දිනා ගනු ලැබූවේ Ke Huy Quan ය.

Ke Huy Quan යනු කවුද ?

උපතින් වියට්නාම් ජාතිකයෙකු වූ Ke Huy Quan මෙලොව එලිය දුටුවේ 1971 වර්ෂයේ අගෝස්තු මස 20 වෙනිදාය. ඔහුගේ ගේ පවුලේ සහෝදර සහෝදරයින් 08 දෙනෙකුගෙන් යුක්ත වූ අතර 1978 වර්ෂයේදී වියට්නාමය සහ කාම්බෝජය අතර ඇතිවූ යුදමය තත්ත්වය හේතුවෙන් ඔවුන් තම මව්බිම අත්හැර පලා ගොස් තිබුණා.

එහිදී Quan ගේ පියා තවත් සහෝදරයින් 05 දෙනෙකු සමග මැලේසියාවට පලා ගොස් තිබු අතර ඔහු සිය මව ඇතුළු පවුලේ සාමාජිකයින් තිදෙනෙකු සමග හොංකොං බලා පලා ගොස් තිබුණා. එහි වසරක කාලයක් සරණාගත කඳවුරක දිවි ගෙවනු ලැබූ Quan ගේ පවුලේ සාමාජිකයින් සියලු දෙනා නැවත එකට එක්වුයේ 1979 වර්ෂයේදී එක්සත් ජාතීන්ගේ සරණාගතයින් නැවත පදිංචි කිරීමේ වැඩසටහන යටතේ අමෙරිකාවේ නව පදිංචියක් සමගයි. 

Ke Huy Quan ගේ රංගන දිවිය :

 Ke Huy Quan සිය දිවියේ පළමු රංගනය ලෙස රිදී තිරයට එක්වුයේ ශ්‍රී ලංකාවේ ද රූගත කිරීම සිදුකළ Indiana Jones and the Temple of Doom චිත්‍රපටයෙන් ය. එවකට ඔහුගේ වයස අවුරුදු 12ක් වූ අතර Ke Huy Quan එම චිත්‍රපටයේ ප්‍රධාන නළුවා වූ හැරිසන් ෆෝඩ් සමග රංගනයෙන් එක්වූවා.

Indiana Jones and the Temple of Doom චිත්‍රපටයෙන් පසු Ke Huy Quan හොලිවුඩයේ ප්‍රසිද්ධ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් වන ස්ටීවන් ස්පීල්බර්ග් ගේ සංස්කෘතික චිත්‍රපටය The Goonies හි රංගනයෙන් දායක විය.

එම චිත්‍රපට දෙකෙන් පසු Ke Huy Quan ගේ රංගන දිවිය චිත්‍රපට කිහිපයකට පමණක් සීමාවිය.

රංගනයෙන් ඉවත්වීම සහ නැවත සිදුවූ ආගමනය :

1998 වර්ෂයේ දී රංගන දිවියෙන් ඈත්වූ Ke Huy Quan සහය චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු වශයෙන් අමෙරිකාවේ කැලිෆෝනියාවේ පිහිටි සරසවියක පාඨමාලාවක් හදාරමින් සිය උපාධිය ලබා ගනු ලැබුවාය. ඉන් පසු 2018 වර්ෂය දක්වා චිත්‍රපට සහය අධ්‍යක්ෂකවරයෙකු ලෙස කටයුතු කළ ඔහු නැවත රංගනයට එක්වුයේ Crazy Rich Asians චිත්‍රපටය හරහාය. ඒ සිය රංගන දිවියෙන් ඉවත්වී වසර 20කට පසුව වීම විශේෂී සිදුවීමක් වුවා.

Crazy Rich Asians චිත්‍රපටයෙන් පසු Ke Huy Quan සිය ජිවිතයේ සුවිශේෂි කඩ ඉමක් වූ Everything Everywhere All at Once රංගනයෙන් එක්වූවා. කෙසේ වුවද එම චිත්‍රපටයේ රූගත කිරීම් අරඹා කෙටි කලකින් එය අත්හිටුවිමට සිදුව තිබුණා. ඒ කොවිඩ් වසංගතය ලොවපුරා ව්‍යාප්ත වීම හේතුවෙන්ය.

කොවිඩ් වසංගතය නිසා නිවසට වී කල් ගත කිරීමට සිදුවූ Ke Huy Quanට සිය සෞඛ්‍ය රක්ෂණය පවා අහිමිවී තිබුණා. ඒ වන විට තමන් ආර්ථික වශයෙන් දැඩි අපහසුතාවයට පත්වූ බවයි පසුව ඔහු විදෙස් මාධ්‍ය වෙත පවසා සිටියේ.

කොවිඩ් වසංගතය ක්‍රමයෙන් සාමාන්‍ය අතට හැරීමෙන් පසු මාස 08කට පසුව Everything Everywhere All at Once චිත්‍රපටය නැවත රූගත කිරීම් ආරම්භ කෙරුණ අතර එය 2021 වර්ෂයේදී රූගත කිරීම් අවසන් කරනු ලැබුවා.

දිවියේ උදාවූ සුන්දරතම මොහොත :

වයස අවුරුදු 12දී සිනමාවට පැමිණි  Ke Huy Quan සිය රංගන දිවිය වෙනුවෙන් ලැබූ ඉහළම සම්මානය දිනාගනු ලැබීමට සමත්වුයේ Everything Everywhere All at Once චිත්‍රපටයේ Waymond Wang චරිතය වෙනුවෙන් කළ සුවිශේෂී දායකත්වය වෙනුවෙන්ය. හොදම සහය නළුවාට හිමි ඔස්කාර් සම්මානය සමග ඔහු ඉතිහාස ගතවුයේ එලෙස සම්මානයට පාත්‍රවූ පළමු වියට්නාම් හි උපත ලැබූ අයෙකුවිම නිසයි.

සම්මානය ලැබීමෙන් පසු සිදුකළ සංවේදී කතාව :

'මගේ අම්මාට වයස අවුරුදු 88යි. ඇය ගෙදර ඉඳන් බලාගෙන ඉන්නවා - අම්මේ, මට ඔස්කාර් සම්මානයක් ලැබුණා..! මගේ ගමන ආරම්භ වූයේ බෝට්ටුවකින්. මම සරණාගත කඳවුරක අවුරුද්දක් ගත කළා. කොහොම හරි මම හොලිවුඩයේ ලොකුම වේදිකාවට ආවා.

මේ වගේ කතා සිදුවන්නේ චිත්‍රපටවල විතරයි කියලා ඇතැමුන් පවසනවා. නමුත් එය මට සිදුවූ බව විශ්වාස කිරීමටම අපහසුයි. ඇත්තටම මෙය ඇමරිකානු සිහිනයයි..

මගේ ජීවිතේ ආදරයට මම හැමදෙයක්ම ණයගැතියි. මගේ බිරිඳ එකෝ - මාසෙන් මාසයට, අවුරුද්දෙන් අවුරුදු 20 ක් මට කිව්වා දවසක මගේ කාලය එනවා කියලා.

සිහින යනු ඔබ විශ්වාස කළ යුතු දෙයක්. මම මගේ සිහින බොහෝ දුරට අත්හැරියා. නුමුත් මම කියනවා ඔබ සැමට කරුණාකර ඔබගේ සිහිනය සජීවීව තබා ගන්න.

මාව නැවත පිළිගත්තාට ඔබට බොහෝම ස්තූතියි."  Ke Huy Quan කඳුළු පිරුණු දෙනෙතින් කියා සිටියා.