Friday, April 19, 2024

General line - 0115112241

ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීමට ගිය පකිස්තාන පොලීසිය පසු බසියි




පකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම හෙට පෙරවරු 10 තෙක් අත්හිටුවන ලෙස ලාහෝර් අධිකරණය පොලීිසියට නියෝග කර තිබෙනවා. ඒ, ලාහෝරයේ පිහිටි ඉම්රාන් ඛාන්ගේ නිවස අසල රැස්ව සිටින ඔහුගේ ආධාරකරුවන් සහ පොලීසිය අතර හටගත් ගැටුම්වලින් අනතුරුවයි.

ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීමට එරෙහිව විරෝධතාවයේ නිරත වූ පිරිස් විසුරුවා හැරීමට පොලීසිය ඉම්රාන් ඛාන්ගේ නිවස දෙසට ද කඳුළු ගෑස් එල්ල කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

විරෝධතාකරුවන් පොලීසියට ගල් ප්‍රහාර එල්ල කර තිබෙනවා. කෙසේවෙතත් මේවනවිට ඉම්රාන් ඛාන්ගේ නිවස වටලා සිටි පොලිස් නිලධාරීන් ඉන් පිටව ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඔහුගේ ආධාරකරුවන් තවදුරටත් එහි රැඳී සිටින බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඉම්රාන් ඛාන් පකිස්තානයේ අග්‍රාමාත්‍යවරයාව සිටි සමයේ විදෙස් රටවලින් හා රාජ්‍ය නායකයින්ගෙන් ත්‍යාග ලෙස ඔහුට ලැබුණු වටිනා භාණ්ඩ නියමිත ක්‍රියාපටිපාටියෙන් තොරව අලෙවි කර ඇතැයි ඉම්රාන් ඛාන්ට චෝදනා එල්ල වනවා. ඔහු අත්අඩංගුවට ගැනීමට අදාළ  මූලික චෝදනාව එය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.