Thursday, April 25, 2024

General line - 0115112241

ගුරු මාරු මණ්ඩලය විසුරුවා හැරීම ගැන නොදන්නා බව අධ්‍යාපන අමාත්‍යංශය කියයි




ගුරු මාරු මණ්ඩලය අත්හිටුවා විසුරුවා හැරීමට ගත් තීරණය සම්බන්ධයෙන් කිසිවක් නොදන්නා බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. නෙත් නිවුස් කළ විමසීමකදී අධ්‍යාපන අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු ඒ බව ප්‍රකාශ කළා. 

ගුරු මාරු මණ්ඩලය අත්හිටුවා විසුරුවා හැරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් එම නියෝගය ලබා දී ඇති බවයි වාර්තා වුණේ. මේ හේතුවෙන් ගුරු මාරු මණ්ඩලයේ නිර්දේශ මත ක්‍රියාත්මක වීමට නියමිතව තිබු ගුරුවරුන් 12,500කගේ පමණ සියළු මාරුවීම් අහෝසිවී යනු ඇති.

අපොස සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ හදාරන සිසුන්ගේ විභාග අධ්‍යයන කටයුතු වලට මෙන්ම පසුගිය සමයේ විවිධ හේතු නිසා පොදුවේ සමස්ත පාසල් අධ්‍යාපන ක්‍රියාවලියට බාධා ඇතිවීම සලකා මෙම තීන්දුව ගෙන ඇති බවයි වාර්තා වන්නේ. එබැවින් මේ මොහොතේ ගුරු මාරු පදනම් කරගෙන පාසල් අධ්‍යාපන ක්‍රියාවලියේ යම් හෝ ගැටළුවක් මතුවීම වැලැක්වීම ජනාධිපතිවරයාගේ මෙම තීන්දුවට හේතු වී ඇති බවද සඳහන්. 

එමෙන්ම, විවිධ මානුෂීය කරුණු රැසක් පදනම් කරගෙන ක්‍රියාත්මක කිරීමට යෝජිතව තිබූ ගුරු මාරු තාවකාලික පදනමින් හෝ කල්දමා සහනයක් ලබාදෙන ලෙස ඉල්ලා ගුරු සේවයේ නියුතු බොහෝ දෙනෙකු ලිපි මඟින්ද ජනාධිපතිවරයා වෙත සිය දුක්ගැනවිලි යොමුකර තිබුණා. 

තවද පළාත් පාලන මැතිවරණයේදී අපේක්ෂකත්වය ලබාසිටි ගුරුවරුන් පිරිසක් ද ගුරුමාරුවීම් සඳහා නිර්දේශව සිට ඇති අතර ඉන් පිරිසක් සිය ස්ථාන මාරු දේශපාලන පළිගැනීම් ලෙස හුවා දැක්වීමේ සූදානමක පසුවූ බවටත් වාර්තා වී තිබෙනවා. 

මේ අතර පවතින ගැටලුවලට කඩිනමින් විසඳුම් ලබා නොදුනහොත් ලබන වසරේදී පැවැත්වීමට නියමිත විභාගද නියමිත කාලය තුළ පැවැත්වීමට නොහැකිවන බව ලංකා ගුරු සංගමය පවසනවා. ගුරු විදුහල්පතිවරුන් පසුගියදා වර්ජනයක නිරත වීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා පළ කළ අදහස් වලට ප්‍රතිචාර දක්වමින් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම්වරයා මේබව කියා සිටියා.  

එහිදී අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත උසස් පෙළ විභාගයේ පිළිතුරුපත් ඇගයීමට ගුරුවරුන් නොපැමිණීම සම්බන්ධයෙන්ද  අදහස් පළ කළා. ආර්ථික අර්බුදය හේතුවෙන් ගුරුවරුන් පමණක් නොව පාසල් ළමුන්ද පීඩාවට පත්ව ඇති බවයි අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේ. 

කෙසේ වෙතත් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් පැවසුවේ පවතින ගැටලු සම්බන්ධයෙන් ගුරු විදුහල්පතිවරුන් සමඟ සාකච්ඡා කර විසඳුම් ලබා දීමට බලධාරීන් කටයුතු කළ යුතු බවයි. 

අධ්‍යාපන බලධාරීන් සිය ගැටලුවලට විසඳුම් කඩිනමින් ලබා නොදුනහොත් ලබන වසරේද අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින අර්බුද එලෙසම පැවතිය හැකි බවයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම්වරයා වැඩිදුරටත් පැවසුවේ.