Friday, March 29, 2024

General line - 0115112241

ජල පෝෂක ප්‍රදේශවලට තද වැසි

රංජිත් රාජපක්‍ෂ / ජයන්ත වීරසේකර




මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල පිහිටි කාසල්රී සහ මාවුස්සා කැලේ ජල පෝෂක ප්‍රදේශවලට තද වැසි ලැබී තිබෙනවා. ඉකුත් දින කිහිපයේම පස්වරු කාලයේ එම ප්‍රදේශවලට අධික වැසි ඇදහැළුණු බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

පසුගිය මාස කිහිපයක තුළ එම ජල පෝෂක ප්‍රදේශවල පැවති දැඩි වියළි කාලගුණය හේතුවෙන් කාසල්රී සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම සීිග්‍ර ලෙස පහත වැටී තිබුණා. මාවුස්සාකැලේ ජලාශයේ ජලමට්ටම අඩුවීම නිසා එම ජලාශය ඉදිකිරීමේදී ජලයට යට වූ පැරණි මස්කෙළිය නගරයේ නටඹුන්ද ඉකුත් කාලසිමාවේදි යළි මතුව තිබූ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

කෙසේවෙතත් ඉකුත් දින කිහිපයේදී ඇදහැළුණු අධික වර්ෂාවත් සමග කාසල්රී සහ මාවුස්සාකැලේ ජලාශවල ජලමට්ටම ක්‍රමයෙන් ඉහළයමින් පවතින බව ජලාශ භාර ඉංජිනේරුවන් පැවසූ බවයි නෙත් නිවුස් වාර්තාකරු වැඩිදුරටත් පැවසුවේ.  

මේ අතර අධික වර්ෂාපතනය සමග වැල්ලවාය අලිකොට ආර ජලාශයේ වාන් දොරටු තුනක් ඊයේ පස්වරුවේ අද උදෑසන දක්වා විවෘත කර තිබූ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

මොණරාගල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට ඊයේ පස්වරුවේ සිට ඇද හැලුණු ධාරානිපාත වර්ෂාපතනය නිසා එම ජලාශයේ වාන් දොරටු තුනක් අඩි හතර බැගින් විවෘත කර තිබූ බවද නෙත් නිවුස් වාර්තාකරු සදහන් කළා.