Thursday, April 25, 2024

General line - 0115112241

චීන ජනපතිගේ රුසියානු සංචාරය අතරතුර ජපාන අගමැති හදිසියේ යුක්රේනයට




ඉන්දියාවේ දෙදින නිල සංචාරයක නිරත වී සිටි ජපාන අග්‍රාමාත්‍ය ෆූමියෝ කිෂීඩා හදිසියේ යුක්රේනයට පැමිණ තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ එය අනපේක්ෂිත පැමිණීමක් බවයි.

ජපාන අග්‍රාමාත්‍යවරයා දුම්රියකින් යුක්රේනයේ කිව් අගනුවර වෙත පැමිණ ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළා. ඔහු එහිදී යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් ස්ලෙනෙස්කි හමුවීමට ද නියමිතව තිබෙනවා. කෙසේවෙතත් ජපන් අග්‍රාමාත්‍යවරයාගේ මෙම හදිසි යුක්රේන සංචාරය පිළිබඳ වැඩිදුර තොරතුරු විදෙස් මාධ්‍ය මෙතෙක් වාර්තා කර නැහැ.

කෙසේවෙතත් ජපන් අග්‍රාමාත්‍යවරයා මෙලෙස අනපේක්ෂිත ලෙස යුක්රේනයට පැමිණ සිටින්නේ චීන ජනාධිපති ෂී ජින්පින් රුසියාවේ රැඳී සිටින පසුබිමක් තුළ වීම ද විශේෂත්වයක්. දින 03 ක සංචාරයක් සඳහා රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ ආරාධනයකට අනුව චීන ජනාධිපතිවරයා ඊයේ රුසියාවට පැමිණියා.

ගතවූ දෙදින තුළ දෙරටේ නායකයින් දෙපළ අතර සාකච්ඡා වට කිහිපයක් පැවැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. එමෙන්ම එහිදී යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් ද අවධානය යොමුව ඇති අතර සාම ක්‍රියාවලියක් සඳහා එළඹීම වෙනුවෙන් චීනය මැදිහත්කරුවෙකු ලෙස ඉදිරිපත්ව සිටිනවා.

එමෙන්ම ජාත්‍යන්තරය හමුවේ හුදෙකලා වී සිටින රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට චීනයට පැමිණෙන ලෙස ජනාධිපති ෂී ජින්පින් එහිදී ආරාධනයක් ද සිදුකර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.