Tuesday, May 7, 2024

General line - 0115112241

ගොවි පවුල් 48,000කට විශේෂ දීමනාවක්




අමෙරිකානු ආධාර යටතේ අඩු ආදායම්ලාභී ගොවි පවුල් 48,000කට එක් ගොවි පවුළකට රුපියල් 30,000 බැගින් මෙවර යල කන්නයේ දී දීමනාවක් ලබාදීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව දිවයිනේ අක්කරයකට වඩා අඩු කුඹුරු වගා කරන අඩු ආදායම්ලාභී ගොවි පවුල් 48,000ක් සඳහා රුපියල් 15,000 බැගින් වාරික දෙකක යටතේ එක් පවුලකට රුපියල් 30,000ක මුදලක් ලබා දීමට නියමිතයි.

මුලතිව්, වව්නියාව, ත්‍රිකුණාමලය, අම්පාර, මඩකලපුව, හා මොණරාගල යන දිස්ත්‍රික්කවල අක්කරයකට වඩා අඩු ප්‍රමාණයක වී වගා කරන ගොවි පවුල් සඳහා මෙම සහනාධාර දීමනාව ලබා දීමට නියමිතව තිබෙනවා. මෙම ගොවි පවුල්වල ජීවන තත්ත්වය නඟා සිටුවීම මෙහි අරමුණයි.

කෘෂිකර්ම අමාත්‍යංශය පැවසුවේ පසුගිය මහ කන්නය තුළ මෙරට ගොවි ජනතාවට එක් ගොවි පවුලකට රුපියල් එක්ලක්ෂ නවදහසක පමණ මුදලක් රජය හා වෙනත් අන්තර්ජාතික ආයතනවල සහයෝගයෙන් සහනාධාර වශයෙන් ලබා දී ඇති බවයි.

ඒ අතරට යුරියා පොහොර අඩු මිලට ලබා දීම, ඉන්ධන නොමිලයේ ලබා දීම, යුරියා පොහොර නොමිලයේ ලබා දීම, බන්ඩි පොහොර අවම මිලක් යටතේ ලබා දීම හා කාබනික පොහොර මිල දී ගැනීම සඳහා සහනාධාර මුදල් ලබා දීමද අයත්.