Friday, April 19, 2024

General line - 0115112241

මහ බැංකුව ස්වාධීන කරනවාද? - අධිකරණයේ රහස් තීරණය කථානායකට




රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන මහ බැංකු සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ගොනුකර තිබූ පෙත්සම් විභාගය ශ්‍රේෂ්ඨාධිකරණය අවසන් කර තිබෙනවා. එහි රහසිගත නිගමනය පාර්ලිමේන්තුවේ කතානායකවරයා වෙත යොමු කරන බව නිවේදනය කර තිබෙනවා.

ප්‍රියන්ත ජයවර්ධන, කුමුදුනී වික්‍රමසිංහ සහ අර්ජුන ඔබේසේකරගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ පෙත්සම් විභාගය පැවැත්වුණා. අදාළ පෙත්සම් අද දෙවන දිනයේ දීත් විභාගය සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවූ අතර එහිදී පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරුන් සිය දේශන ඉදිරිපත් කිරිම අවසන් කලා.

ඉන් අනතුරුව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් විරාජ් දයාරත්න අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසුවේ මෙම පනත් කෙටුම්පත තුළින් ශ්‍රී ලංකා මහ බැංකුවට සිය මූල්‍ය ප්‍රතිපත්ති වඩාත් ස්වාධීනව ක්‍රියාත්මක කිරීමට අවකාශ සලසා දී ඇති බවයි.

මෙම කෙටුම්පත තුළින් මහ බැංකුවේ වග වීම වැඩි දියුණු කර අතර බලපෑම් වලින් තොරව මහ බැංකු අධිපතිවරයාට සිය බලතල හා කටයුතු ඉටු කිරීමට අවස්ථාව සලසා දී ඇති බවද සඳහන් කළා.

කෙසේ වෙතත් යෝජිත පනත් කෙටුම්පත හරහා ශ්‍රී ලංකා මහ බැංකුව විධායකයේ පාලනයෙන් බැහැර වන බවට පෙත්සම්කරුවන් චෝදනා එල්ල කර තිබුණා. අදාළ පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූල භාවය පිළිබඳ රහසිගත නිගමනය පාර්ලිමේන්තුවේ කතානායකවරයා වෙත දැනුම් දෙන බවයි විනිසුරු මඩුල්ල නිවේදනය කළේ.