Thursday, April 25, 2024

General line - 0115112241

පාසල් 100ක බේස් බෝල් ක්‍රීඩාව මේ වසර තුළදී ප්‍රචලිත කිරීමට සැලසුම්




මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රයේ ප්‍රගමනය සහ එහි ඉදිරි සැලසුම් පිළිබඳ සොයා බැලීමට විශේෂඥ කමිටුවක් පත් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ක්‍රීඩා අමාත්‍යවරයා ප්‍රමුඛ නිලධාරීන්ට උපදෙස් දුන්නා.

ක්‍රීඩා සහ  අධ්‍යාපන අමාත්‍යවරුන් මෙන්ම  ක්ෂේත්‍රයේ විශේෂඥයන් ඇතුළු පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ, විපක්ෂ මන්‍ත්‍රීවරුන් කිහිප දෙනෙකුගෙන් සමන්විතව එම කමිටුව පත් කිරීමට ද ජනාධිපතිවරයා විසින් උපදෙස් දෙනු ලැබුවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම  උපදෙස් ලබා දුන්නේ දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩා සංකීර්ණයේ අද පෙරවරුවේ නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමිනි.

සෑම ක්‍රීඩා ඉසව්වක්ම නියෝජනය වන පරිදි දක්ෂතම ක්‍රීඩක ක්‍රීඩිකාවන් 100 දෙනෙකු බැගින් තෝරාගෙන ඔවුන්ට අවශ්‍ය පහසුකම් සහ පුහුණුව ලබාදීමට කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා මෙහිදී ක්‍රීඩා අමාත්‍යාංශයේ  නිලධාරීන්ට උපදෙස් දුන්නා.

සෑම වසරකම අඛණ්ඩව මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම තුළින් ජාත්‍යන්තරය ජයගත හැකි ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් වසර කිහිපයක් තුළ මෙරට බිහිකළ හැකි බව ද ජනාධිපතිවරයා එහිදී  පෙන්වා දුන්නේ.
 
දරුවන්ගේ ක්‍රීඩා කුසලතා වයස අවුරුදු 10-12 අවධියේ දී හඳුනාගත යුතු අතර ඒ අනුව ඉදිරියට යාමට ඔවුන්ට අවස්ථාව සලසා දීමේ වැදගත්කම ද ජනාධිපතිවරයා පැහැදිළි කර සිටියා.
 
කොළඹ ප්‍රධාන පාසල් ප්‍රමුඛව දිවයිනේ පාසල් 100ක බේස් බෝල් ක්‍රීඩාව මේ වසර තුළදී ප්‍රචලිත කිරීමට අවශ්‍ය කටයුතු සලසන ලෙස උපදෙස් දුන් ජනාධිපතිවරයා බේස් බෝල් ක්‍රීඩාවෙන් ආසියාවේ ප්‍රධානම රට බවට ශ්‍රී ලංකාව  පත්කර ගත යුතු බවද කියා සිටියේ.

විවිධ ක්‍රීඩා ඉසව්වලින් රට නියෝජනය කර, විශ්‍රාම ගන්නා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට එම සුදුසුකම මුලික සුදුසුකමක් සේ සලකා උපාධිය සම්පුර්ණ කිරීමට අවස්ථාව සලසාදීමේ වැදගත්කම ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දී සිටියා. 
 
අද පෙරවරුවේ දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණය වෙත පැමිණි ජනාධිපතිවරයා ප්‍රධාන ක්‍රීඩා පථය, බේස් බෝල් පිටිය සහ පුහුණු ක්‍රීඩා පථය වෙත ගොස් එහි ක්‍රීඩාවල නිරත වෙමින් සිටි ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ තොරතුරු විමසමින් සුහද කථා බහ  නිරත විය.

ක්‍රීඩක ක්‍රිඩිකාවන්ගේ පුහුණුවීම් සදහා ඇති පිහිණුම් තටාකය, ක්‍රිකට් ක්‍රීඩාංගණය, ක්‍රීඩා පථ ඇතුළු බොහෝ ස්ථාන පුහුණු කටයුතු සදහා නුසුදුසු මට්ටමක පවතින බව මෙහිදී නිරීක්ෂණය කෙරුණා.

ඒ අනුව ප්‍රමුඛතා ලයිස්තුවක් සකස් කර, එම යටිතල පහසුකම් සංවර්ධනයට පියවර ගන්නා ලෙස උපදෙස් දුන් ජනාධිපතිවරයා ක්‍රීඩා සංකීර්ණයේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා අවශ්‍ය මුදල් රජය වෙන් කර ඇති බවත්, නිලධාරීන් අසත්‍ය වාර්තා ඉදිරිපත් කරමින් අනවශ්‍ය වියදම් පෙන්වා දීම සිදු නොකළ යුතු බවත් පැවසූ අතර, එලෙස මුදල් ලබා දීමට මෙම අවස්ථාවේ රජයට හැකියාවක් නැති බව කියා සිටියා.

මෙම ක්‍රීඩාංගණයේ නඩත්තුව පිළිබඳව පසුගිය කාලයේ  ක්‍රීඩා අමාත්‍යාංශය නිසි අවධානයක් යොමු කර නොමැති අතර, වැය කරන සෑම සතයක් පිළිබදවම රජය වගකිව යුතු බව ද ජනාධිපතිවරයා අවධාරණය කර සිටියා.