Thursday, April 25, 2024

General line - 0115112241

කුණාටු සහ ටොනේඩෝවකින් අමෙරිකාවේ 26 දෙනෙකු මියයයි




අමෙරිකාවේ මිසිසිපි හා ඇලබාමා යන ප්‍රාන්තවලට ප්‍රබල ටොනේඩෝවක සහ කුණාටු තත්ත්වයක බලපෑම් එල්ල වුණා. ඒ හමුවේ එම ප්‍රාන්තවලින් පුද්ගල මරණ 26 ක් වාර්තා වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ආපදාකාරී තත්ත්වය හමුවේ මිසිසිපි ප්‍රාන්තයට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට ද බලධාරීන් පියවර ගෙන තිබෙනවා. ආපදා හමුවේ තවත් බොහෝ පිරිසක් තුවාල ලබා ඇති අතර පුද්ගලයින් සිව්දෙනෙකු අතුරුදන් වී ඇති බවයි වාර්තා වන්නේ.

අතුරුදන්වූ පුද්ගලයින් සහ සුන්බුන් අතර සිරවී සිටින පුද්ගලයින් සොයා සහන මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මකයි. ටොනේඩෝ සහ කුණාටු තත්ත්වය හමුවේ වැඩිම බලපෑම් එල්ල වී ඇත්තේ මිසිසිපි ප්‍රාන්තයටයි. එම ප්‍රාන්තයේ ආපදාවට ලක්වූ ප්‍රදේශවල නිවාස සම්පූර්ණයෙන්ම පාහේ විනාශ වී තිබෙනවා.

ගස් කඩා වැටීම් හමුවේ මිසිසිපි, ඇලබාමා සහ ටෙනීසි යන ප්‍රාන්තවල නිවාස සහ ව්‍යාපාරික ස්ථාන 32,000 කට පමණ විදුලි සැපයුම සම්පූර්ණයෙන් අඩාල වී ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළා. 

මේ අතර අද දිනයේ ද අමෙරිකාවේ දකුණු දිග ප්‍රාන්ත කිහිපයකට කුණාටු තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බවයි එරට කාලගුණ අංශ අනතුරු අගවා ඇත්තේ. ඒ හමුවේ පුද්ගලයින් මිලියන 20 ක් පමණ අවදානම්කාරී තත්ත්වයක පසුවන බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.