Friday, March 29, 2024

General line - 0115112241

ඉන්දියානු - අප්‍රිකානු වෙළඳපලට පිවිසීමට මහා බලවතුන්ගේ ගැටුම් බාධාවක් නොවිය යුතු බව ජනපති කියයි




ශ්‍රී ලංකාවට ඉන්දියානු වෙළඳපල ප්‍රවේශයට හෝ අප්‍රිකානු වෙළඳපල විවෘත වීමට මහා බලවතුන්ගේ එදිරිවාදිකම් හෝ ගැටුම් හේතුවෙන් බාධා ඇතිවිය නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. 

ඕස්ට්‍රේලියාව, අමෙරිකාව සහ බ්‍රිතාන්‍යය අතර මෑතකදී පිහිටුවන ලද ආකස් ගිවිසුම, චීනය සහ කොඩ් රටවල් අතර තරගය වඩාත් තීව්‍ර කර ඇති බව ද ජනාධිපතිවරයා සඳහන් කළා. හාවඩ් විශ්ව විද්‍යාලය විසින් සංවිධාන කරන ලද සම්මුඛ සාකච්ඡාවකට සූම් තාක්ෂණය ඔස්සේ එක්වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළා.

ඉන්දු පැසිෆික් කලාපය පිළිබඳ ආසියාන් ඉදිරි දර්ශනයට අනුව ශ්‍රී ලංකාව එකග වන බව ද ජනාධිපතිවරයා එහිදී පවසා තිබෙනවා. එමෙන්ම ඉන්දු - පැසිෆික් කලාපය එකිනෙකට වෙනස් සාගර 02 කින් සමන්විත වන බවත්, ඉන්දියන් සාගරයේ නාවික කටයුතු සඳහා ඇති නිදහස සහ මුහුද යටින් දිවෙන රැහැන්වල ආරක්ෂාව සඳහා ශ්‍රී ලංකාව කැපවී සිටින බවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී පවසා ඇත්තේ. එබැවින් තායිවානය ඇතුළුව ආසියා පැසිෆික් කලාපයේ ගැටළු ඉන්දීය සාගරයට කාන්දු නොවීමට වග බලා ගැනීම ශ්‍රී ලංකාවේ අනාගතයට අත්‍යවශ්‍ය බව ද මෙහිදී ජනාධිපතිවරයා සඳහන් කළා. 

ශ්‍රී ලංකාව ඉදිරි වසර 25 තුළ ඉන්දියන් සාගරයේ සෙසු රටවල් සහ දකුණු ආසියාව සමග එක්ව ඉදිරියට යමින් දැවැන්ත සංවර්ධන ඉලක්කයක් සපුරා ගනු ඇති බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී පවසා තිබෙනවා. 

රජයේ 25 වසරක නව ප්‍රතිසංස්කරණවාදී වැඩපිළිවෙළ එම ඉලක්කය කරා රට ඔසවා තබනු ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා දියුණු ශ්‍රී ලංකාවක් ගොඩනැගීම සඳහා සක්‍රිය කාර්යය භාරයක් ඉටු කිරීමට එක්වන ලෙස ඩයස්පෝරාවේ තරුණ තරුණියන් ඇතුළු සමස්ථ ශ්‍රී ලාංකික තරුණ ප්‍රජාවට ආරාධනා කරන බව ද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කර තිබෙනවා. 

යටත් විජිත පාලනයෙන් නිදහස ලබා වසර 100 ක් සපිරෙන 2048 වසර වනවිට ශ්‍රී ලංකාව ඉහළ මැදි ආදායම් ලබන රටක් බවට පත්වනු ඇති බවත්, එම සියල්ල රඳා පවතින්නේ ආර්ථික ප්‍රතිසංස්කරණ සඳහා වූ කැපවීම මත බවත් ජනාධිපතිවරයා සඳහන් කළා. 

ඒ සඳහා කලාපය තුළ අපගේ උපාය මාර්ගික පිහිටීම ද භාවිතයට ගතයුතු බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ. එමෙන්ම ශක්තිමත් ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායක් ඇති විවෘත ආර්ථිකයක් සහිත කුඩා රටක් වූ ශ්‍රී ලංකාව සැමවිටම දේශපාලන ස්වාධීනත්වය පවත්වාගෙන යන අතර සමීපතම අසල්වැසියා සහ දීර්ඝතම සබඳතා ඇති රටවන ඉන්දියාව කලාපයේ ආරක්ෂකයා ලෙස සලකන බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.