Wednesday, April 24, 2024

General line - 0115112241

සිය න්‍යෂ්ටික අවි බෙලරූස් රාජ්‍යය තුළ ස්ථානගත කිරීමට රුසියාවෙන් තීරණය කරයි




තමන් සතු න්‍යෂ්ටික අවි බෙලරූස් රාජ්‍යය තුළ ස්ථානගත කිරීමට රුසියාව තීරණය කර තිබෙනවා. රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසන්නේ ඒ සඳහා බෙලරූස් නායක ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ ද කැමැත්ත පළ කර ඇති බවයි.

සිය තීරණයෙන් න්‍යෂ්ටික අවි හරණය පිළිබඳ ගිවිසුම කිසිසේත් උල්ලංඝණය නොවන බවයි රුසියානු ජනාධිපතිවරයා පවසන්නේ. එමෙන්ම සිය තීරණය අමෙරිකාව විසින් සිය මිතුරු යුරෝපානු රටවල් තුළ අවි ස්ථාපිත කිරීමට සමාන බව ද රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා. 

කෙසේවෙතත් සෝවියට් සංගමය බිඳ වැටීමෙන් අනතුරුව යුක්රේනය, බෙලරූස් රාජ්‍යය සහ ලැට්වියාව 1996 වසරේදී තමන් සතු න්‍යෂ්ටික අවි රුසියාව වෙත ලබාදී තිබෙනවා. ඒ අනුව 1990 දශකයේ මැද භාගයෙන් අනතුරුව රුසියාව තමන් සතු න්‍යෂ්ටික අවි වෙනත් රටක ස්ථාපිත කරන පළමු අවස්ථාව මෙය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් අමෙරිකාවේ දැඩි අවධානය යොමුව තිබෙනවා. අමෙරිකාව පවසන්නේ රුසියාව කිසිවිටෙකත් න්‍යෂ්ටින අවි පාලනය බෙලරූස් රාජ්‍යයට  පවරනු ඇතැයි තමන් විශ්වාස නොකරනු බවයි. 

බෙලරූස් යනු දේශපාලන සහ ආර්ථික වශයෙන් රුසියාව මත යැපෙන රාජ්‍යයක් ලෙස ප්‍රකටයි. එමෙන්ම වසර 30ක් පුරා බෙලරූස් රාජ්‍ය්‍යට නායකත්වය දෙන ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින්ගේ සමීපතම සඟයෙකුද වනවා.