Tuesday, April 23, 2024

General line - 0115112241

කටුනායක ගුවන්තොටුපොළට පැමිණි අමුත්තා 

ටී.කේ.ජී.කපිල -  කටුනායක




ලෝකයේ නවතම මගී ගුවන් යානයක් පළමු වතාවට අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබෙනවා.  

සිංගප්පූරු ගුවන් සේවයට අයත් බෝයිං 787 - 10 වර්ගයේ මෙම  ගුවන් යානය සිංගප්පූරු ගුවන් සේවයට මෙන්ම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි පළමු අවස්ථාව මෙය බව සිංගප්පූරු ගුවන් සේවයේ ශ්‍රී ලංකා නියෝජිත එයිට්කන් ස්පෙන්ස් සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ වසන්ත කුඩාලියනගේ ප්‍රකාශ කර සිටියේ.

ඇමෙරිකාවේ බෝයිං ගුවන් යානා නිෂ්පාදන සමාගම ඩ්‍රීම්ලයිනර් ගුවන් යානා කාණ්ඩය යටතේ අලුතෙන්ම නිෂ්පාදනය කර ඇති මෙම ගුවන් යානය පුළුල් බද සහිත එකවර ගුවන් මගීන් 337 දෙනෙකුට ගමන් කළ හැකි ආකාරයට නිපදවා ඇත.

රෝල්ස් රොයිස් වර්ගයේ ඇන්ජින් දෙකකින් බල ගැන්වෙන මෙම ගුවන් යානය තුළ ව්‍යාපාරික පංතියේ ආසන 36 ක් සහ පිරිමැසුම්දායක පංතියේ 
( Economy ) ආසන 301 කින් සමන්විත වේ.

වසර 53 ක අඛණ්ඩ සේවයක් සපයන සිංගප්පූරු ගුවන් සේවය මෙම නවතම ගුවන් යානය සේවයේ යෙදවීම තුළින් ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය වැඩි දියුණු කිරීමට මෙන්ම ශ්‍රී ලංකාවේ ආනයනය අපනයන වෙළෙඳාම ශක්තිමත් කිරීමට ද විශාල දායකත්වයක් සැපයීමක් බවයි සිංගප්පූරු ගුවන් සේවයේ ශ්‍රී ලංකා නියෝජිත එයිට්කන් ස්පෙන්ස් සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ වසන්ත කුඩාලියනගේ ප්‍රකාශ කර සිටියේ.

මෙම ගුවන් යානය කටුනායක ගුවන් තොටුපළ තුළ ගොඩ බැස්සවීම සදහා ධාවන පථයේ සහ ගුවන් යානා නැවතුම් අංගනයේ විශේෂ පහසුකම් පුළුල් කිරීමට ද ගුවන් තොටුපළ පියවර ගෙන තිබු බවයි අප නෙත් නිවුස් ගුවන්තොටුපොළ වාර්තාකරු පැවසුවේ.

මෙයට පෙර සිංගප්පූරු ගුවන් සේවය විසින් ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර ගුවන් ගමන් සදහා යොදවා තිබුණේ ඒ.- 359 - 900 එයා බස් වර්ගයේ ගුවන් යානයකි . 

එහෙත් මෙම ගුවන් යානයට වඩා වැඩි ගුවන් මගීන් පිරිසක් සහ වැඩි ගුවන් භාණ්ඩ ප්‍රමාණයක් රැගෙන ඒමට අවශ්‍යතාවයක් මතු වී ඇති බැවින් මෙම ඩ්‍රීම්ලයිනර් බෝයිං  787 - 10 නවීනතම සහ විශාලතම මගී ගුවන් යානය යොදවා ගැනීමට සිංගප්පූරු ගුවන් සේවය තීරණය කර ඇති බව එම ගුවන් සේවයේ මෙරට නියෝජිතවරයා පවසා සිටියේ.

සිංගප්පූරු ගුවන් සේවයේ මෙම පළමු මංගල ගුවන් ගමන සදහා සිංගප්පූරුවේ සිට ගුවන් මගීන් 277 දෙනෙකු රැගෙන පැමිණි අතර මෙම ගුවන් යානය අද දින අලුයම 12.40 ට කටුනායක සිට මෙම ගුවන් යානයේ සම්පූර්ණ මගී ගුවන් මගී ධාරිතාවය වන ගුවන් මගීන් 337 දෙනෙකු රැගෙන සිංගප්පූරුව බලා පිටත්ව ගිය බවයි අප වාර්තාකරු පැවසුවේ.

අද දින සිට සතියකට දින 04 ක් එනම්,  සදුදා, බදාදා, සිකුරාදා සහ සෙනසුරාදා මෙම ගුවන් යානය කටුනායක ගුවන් තොටුපළ සහ සිංගප්පූරුවේ චැංගි ගුවන් තොටුපළ අතර ඍජු ගුවන් ගමන් වල නිරත වීමට නියමිතයි.

එසේම එළඹෙන ඔක්තෝබර් මාසයේ සිට මෙම ගුවන් යානය සතියේ දින 07 ම සිංගප්පූරුව සහ කටුනායක ගුවන් තොටුපළ අතර ගුවන් ගමන් වල නිරත වීමට සැළසුම් කර තිබේ.