Saturday, April 20, 2024

General line - 0115112241

ආර්ථික අර්බුදය නිසා කොහිල පරිභෝජනය සියයට 45 කින් ඉහළට




2022 ආර්ථික අර්බුදය උත්සන්න සමයේ මෙරට කොහිල පරිභෝජනය සියයට 45 දක්වා ඉහළ ගොස් තිබූ බව නවතම පර්යේෂණයකින් අනාවරණ වී තිබෙනවා. එම පර්යේෂණය සිදුකර ඇත්තේ හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පුහුණු හා පර්යේෂණ ආයතනය විසින්.

මෙලෙස කොහිල අනුභවය ඉහළ ගොස් ඇත්තේ 2021 සැප්තැම්බර් මස සිට 2022 අවසානය දක්වා කාලය තුළයි. අදාළ කාලයේ මෙරට ආහාර උද්ධමනට සියයට 95 කින් ඉහළ ගොස් තිබුණා. අදාළ කාලය තුළ ගෘහස්ථව වගා කළ එළවළු පරිභෝජනය ඉහළ ගොස් තිබූ බවයි එම පර්යේෂණ වාර්තාවේ දැක්වෙන්නේ. 

අදාළ කාලය තුළ වැඩි දෙනෙකු සිය ගෙවත්තතෙන් සපයා ගත හැකි කුමන හෝ එළවළුවක් ආහාර සඳහා යොදා ගෙන ඇති බව ද හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පුහුණු හා පර්යේෂණ ආයතනය පවසනවා.

ඔවුන්ගේ නවතම වාර්තාවට අනුව බෝංචි සියයට 30 කින්, කැරට් සියයට 29 කින් හා වට්ටක්කා සියයට 27 කින් අදාළ කාලය තුළ පරිභෝජනය පහත වැටී ඇතැයි සඳහන්. අදාළ වාර්තාවට අනුව වම්බටු පරිභෝජනය ද සියයට 27 කින් පහළ ගොස් තිබෙනවා. කොළ සහිත එළවළු පරිභෝජනය ද සියයට 10 කින් අඩුවී තිබෙනවා. 

ආහාර අනාරක්ෂිතතාවය ගත් කළ නාගරික අංශයේ සියයට 43 ක්, ග්‍රාමීය අංශයේ සියයට 52 ක් හා වතු අංශයේ සියයට 67 ක් ලෙස ආහාර අනාරක්ෂිතභාවයට ලක්ව ඇති බවයි මෙම සමීක්ෂණයෙන් වැඩිදුරටත් අනාවරණ කර ඇත්තේ.