Friday, April 26, 2024

General line - 0115112241

තමන් නිවැරදිකරුවන් බව පාස්කු ප්‍රහාරයේ චෝදනා ලැබී විත්තිකරුවන් අධිකරණය කියයි




පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය කුමන්ත්‍රණය කිරීම, ආධාර අනුබල දීම ඇතුළු චෝදනා යටතේ නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන්ට චෝදනා කියවා දීම කොළඹ මහාධිකරණය හමුවේ අද ආරම්භ වුණා. ඒ, දමිත් තොටවත්ත, අමල් රණරාජා සහ නවරත්න මාරසිංහගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේයි.

මෙම චෝදනා කියවා දීම සිදු කළ අවස්ථාවේ දී බන්ධනාගාර ගත කර සිටින නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් 24 දෙනා දැඩි ආරක්ෂක විධිවිධාන මැද අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබුණා.

නඩුවේ අන්තර් ගත චෝදනා 23,270 අතුරින් චෝදනා 13 ක් අද දින විවෘත අධිකරණයේ කියවා දෙනු ලැබූ අතර එම චෝදනා වලට තමන් නිවැරදිකරුවන් යැයි විත්තිකරුවන් ප්‍රකාශ කළා. ඉන් අනතුරුව වැඩිදුර චෝදනා කියවා දීම මැයි මස 24 වනදා දක්වා කල් තැබුණා. 

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් මෙම විත්තිකරුවන් 24ට එරෙහිව මෙම නඩුව පවරා ඇත්තේ නීතිපතිවරයා විසින්.