Thursday, April 25, 2024

General line - 0115112241

රජයේ ආදායම් එකතු කරන ආයතන ගැන කෝපා කමිටුවේ අප්‍රසාදය




රජයේ ආදායම එකතු කිරීම, වැඩි දියුණු කිරීම සදහා නවීන පරිගණක පද්ධතියක් සැකසීමේ ක්‍රියාවලිය සදහා රජයේ ප්‍රධාන ආයතන 4ක් නියෝජනය කරන නව තාක්ෂණික කමිටුවක් පත් කිරීමට තීරණය වී තිබෙනවා. ඒ, රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුව හා ක්‍රම සහ විධි කාරක සභා ඒකාබද්ධව පවත්වන ලද සාකච්ඡාවකදීයි.

ඒ අනුව, ජනාධිපති ලේකම් කාර්යාලයේ නියෝජිතයෙක්, මුදල් අමාත්‍යංශය හා තාක්ෂණ අමාත්‍යංශයේ ලේකම්වරු මෙන්ම තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ සභාපතිවරයා මෙම කමිටුවේ සාමාජිකයන් වන බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේ.

සියලු අදාළ ආයතන සම්බන්ධීකරණයෙන් සතියක් ඇතුළත මූලික සාකච්ඡාවක්  පවත්වා  මැයි 15 වැනිදා මූලික සැලසුම්වල ඉදිරිපත් කිරීමක් කෝපා කමිටුව ඉදිරියේ සිදු කිරීමටත් ඊට අදාළ වාර්තාවක් ද ලබා දීමටත් එම තාක්ෂණික කමිටුවට පැවරෙනවා.

ඉන් අනතුරුව මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක වන තුරු සෑම මසකට වරක්ම මේ පිළිබදව ප්‍රගති සමාලෝචනයක් ලබා ගැනීමට ද තීරණය වී තිබෙනවා. ඒ, රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සභාපති රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න හා ක්‍රම සහ විධි කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවකගේ ප්‍රධානත්වයෙන් එම කාරක සභා රැස් වූ අවස්ථාවේදීයි. 

එම සාකච්ඡාවට ජනාධිපති ලේකම් කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය, මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය, තාක්ෂණ අමාත්‍යංශය, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඇතුළු රජයේ ආයතන රැසක නිලධාරීන්  එම සාකච්ඡාවට කැඳවා තිබූ බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේ.

2016 වසරේදී රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් රජයේ ආදායම එකතු කිරීම, වැඩි දියුණු කිරීම සදහා රජයේ අදාළ සියලු ආයතන ඒකාබද්ධ කර තොරතුරු තාක්ෂණික පද්ධතියක් සකස් කිරීම සදහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට නිර්දේශයක් ලබා දී තිබුණා. එය ක්‍රියාත්මක නොවීම පිළිබඳව කෝපා කමිටු සභාපතිවරයා රජයේ ආදායම් එකතු කරන ආයතනවලට සිය දැඩි අප්‍රසාදය පළ කර තිබෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩපිළිවෙල තුළ පවතින ආර්ථික අර්බුදය විසදා රජයේ ආදායම වැඩි කර ගැනීමට සියලු ආයතන ඒකාබද්ධ කර විධිමත් පරිඝණක පද්ධතියක් සකස් කිරීම අත්‍යාවශය බවයි රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න එහිදී පෙන්වා දී ඇත්තේ. 

එහිදී අදහස් පළ කළ ක්‍රම සහ විධි කාරක සභාවේ සභාපති පාඨලී චම්පික රණවක පවසා ඇත්තේ මේ සදහා අවශ්‍ය තාක්ෂණික පසුබිම, අදාළ ආයතන ඊට කොතරම් දුරට සවිබල ගැන්විය යුතුද යනාදි කරුණු අධ්‍යයනය කර සංයුක්ත වැඩපිළිවෙලක් සකස් කළ යුතු බවයි.