Wednesday, April 17, 2024

General line - 0115112241

ලිංගික හා ප්‍රජනක සෞඛ්‍ය පෙළ පොත් සකස් කිරීමට අවධානය




පාසල් සිසුන් සඳහා ලිංගික හා ප්‍රජනක සෞඛ්‍ය පිළිබඳ පෙළපොත් සකස් කිරීමටත් ඊට අදාළ විවිධ පාර්ශ්ව දැනුවත් කිරීමටත් අධ්‍යාපන අමාතා්‍යංශයේ සම්බන්ධීකරණයෙන් විශේෂ කමිටුවක් පත්කරන ලෙස ළමයින් සඳහා වන පාර්ලිමේන්තු සංසදය එම අමාත්‍යංශයේ බලධාරීන්ට දැනුම් දී තිබෙනවා. ඒ, එම කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී විජේරත්නගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීයි. 

එම විශේෂ කමිටුවට සෞඛ්‍ය සහ අධ්‍යාපන අමාත්‍යංශ යටතේ ඇති විවිධ ආයතන, ජාතික ළමා ආරක්ෂක අධිකාරිය, පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව යන ආයතවල නියෝජිතයන් ද මෙම කමිටුවට ඇතුළත් විය යුතු වනවා. අදාළ සම්බන්ධීකරණ කටයුතුවල ප්‍රධාන වගකීම භාර ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍යංශයට කාරක සභාව විසින් උපදෙස් දුන් බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේ.

එමෙන්ම, එම කමිටුවේ වගකීම් මාස තුනක් ඇතුළත අවසන් කළ යුතු බවත් ඒ සඳහා වන කාලරාමුවක් මීළඟ රැස්වීමේදී සකස් කිරීමට අපේක්ෂා කරන  බවත් කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී විජේරත්න පවසා තිබෙනවා. වයස අවුරුදු දහසය ඉක්මවූ පාසල් සිසුන්ව ලිංගික හා ප්‍රජනක සෞඛ්‍ය පිළිබඳව දැනුවත් කිරීමට දැනටමත් පෙළපොත් සකස් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශයේ නිලධාරීන් එහිදී කාරක සභාවට දැනුම් දී තිබෙනවා.

එහෙත් දරුවාගේ මනසට ගැළපෙන පරිදි කුඩා කල සිටම ලිංගික හා ප්‍රජනක සෞඛ්‍ය පිළිබඳව දරුවන්ව දැනුවත් කිරීමේ අවශ්‍යතාවක් පවතින බැවින් ඒ සඳහා පෙළපොත් සකස් කිරීමේ කටයුතු කඩිනමින් ආරම්භ කළ යුතු බවත් එම කාරක කමිටුව විසින් පෙන්වාබ දුන් බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේ.

මෙම වැඩසටහනේ පළමු අදියරේදී පෙළ පොත් මුද්‍රණය නොකළද අන්තර්ජාලය හරහා සිසුන්ට පරිශීලනය කිරීමට අවස්ථාව ලබා දිය හැකි බවද එහිදී සාකච්ඡා වී තිබෙනවා.

ලිංගික අපයෝජනවලින් ආරක්ෂා කර ගැනීම සදහා ලිංගික හා ප්‍රජනක සෞඛ්‍ය පිළිබඳව සිසුන් දැනුවත් කිරීමේ අවශ්‍යතාව පිළිබඳව ආගමික නායකයන්, දෙමාපියන් ඇතුළු අදාළ පාර්ශ්ව දැනුවත් කිරීමේ වැඩසටහන් ද කමිටුව විසින් සංවිධානය කළ යුතු බවයි එහිදී අවධාරණය කර ඇත්තේ. 

විවාහයෙන් පසුව පවුල් සෞඛ්‍යය නිලධාරි කාර්යාලය මගින් කාන්තාවන්ට ලබා දෙන දැනුවත් කිරීම්වලදී ද ඔවුන්ගේ දරුවන් අනාගතයේ ලිංගික අපයෝජනවලින් ආරක්ෂා කරගැනීම පිළිබදව අවබෝධය ලබා දිය යුතු බවටත් එම සාකච්ඡාවේදී වැඩිදුරටත් යෝජනා වී තිබෙනවා.