Friday, March 29, 2024

General line - 0115112241

රාමසාන් සමයේදී පකිස්තාන වැසියන් ආහාර සොයා ගැනීමේ දුෂ්කරතාවක




රට තුළ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් පකිස්තාන වැසියන් ආහාර සොයා ගැනීමේදී දුෂ්කරතාවන්ට මුහුණ පාමින් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එම වාර්තා පවසන්නේ රාමසාන් උපවාස සමයේදී ඇතැම් පුද්ගලයින්ට ආහාර වේල සොයා ගැනීම පවා අසීරු වී ඇති බවයි.

ආර්ථික අර්බුදය හේතුවෙන් රට තුළ ආහාර පානවල මිල ගණන් දිනෙන් දින ඉහළ යාම හමුවේ පකිස්තානයේ අඩු ආදායම්ලාභී ජනතාව අසීරුතාවට පත්ව ඇති බවයි වාර්තා වන්නේ. ඒ අතරින් තිරිඟු පිටි හිගය ප්‍රධානයි. පවතින සීමිත තිරිඟු පිටි තොග පවා ඉහළ මිළක් යටතේ වෙළඳපලට පැමිණීම හමුවේ රාමසාන් උපවාස සමය ගත කිරීම පකිස්තාන වැසියන්ට දුෂ්කර වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ඒ හමුවේ පකිස්තානය තුල මේ දිනවල තිරිගු පිටි හා ආහාර ද්‍රව්‍ය බෙදාහැරීම සිදු වනවා. එවැනි ස්ථානවල දිගු පෝළිම් පවතින අතර ජනතාව ආහාර ලබා ගැනීම සඳහා නොසන්සුන්කාරිව හැසිරීම හමුවේ තෙරපීම් ද වාර්තා වනවා. ඊයේ කරච්චි නුවර කර්මාන්ත ශාලාවකින් ආහාර ද්‍රව්‍ය බෙදාදීමේ අවස්ථාවකදී සිදුවූ තෙරපීමකින් පුද්ගලයින් 11 දෙනෙකු මියගියා.

එලෙස මියගොස් ඇත්තේ කාන්තාවන් 08 දෙනෙකු සහ ළමුන් තිදෙනෙක්. ඉකුත් සති දෙක තුළදී ආහාර හා තිරිඟු පිටි බෙදාදීමේ දී ඇතිවූ තෙරපීම් හේතුවෙන් පකිස්තානය තුළ මියගිය සංඛ්‍යාව 21 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම තිරිඟු පිටි බෙදා දෙන ස්ථානවල රාමසාන් උපවාස කාල සීමාව ද නොතකා ජනතාව දිගු පෝළිම්වල බොහෝවේලා රැඳී සිටින බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළා.