Friday, May 17, 2024

General line - 0115112241

මැයි සිට ඉන්ධන නිෂ්පාදන කප්පාදුවකට ඔපෙක් සංවිධානයෙන් තීරණයක්




එළඹෙන මැයි මාසයේ සිට ඉන්ධන නිෂ්පාදනය අඩු කිරීමට ඔපෙක් සංවිධානයට අයත් රටවල් රැසක් තීරණය කර තිබෙනවා. වෙළදපොල ස්ථාවරත්වය ඉලක්ක කර ගත් පූර්ව ආරක්‍ෂාකාරී පියවරක් ලෙස එම හදිසි නිෂ්පාදන කප්පාදුව සිදුකරන බවයි ඔපෙක් සංවිධානය පවසන්නේ.

ඒ අනුව දෛනිකව නිපදවන බොරතෙල් බැරල් ප්‍රමාණය එක් ලක්‍ෂ 44,000 කින් අඩු කළ බව එක්සත් අරාබි එමීර් රාජ්‍ය ප්‍රකාශ කර තිබෙනවා. කුවේටය දෛනික බොරතෙල් නිෂ්පාදනය බැරල් එක් ලක්‍ෂ 28,000 කින් අඩු කර ඇති අතර ඕමානය දෛනික බොරතෙල් නිෂ්පාදනය බැරල් 40,000 කින් අඩු කිරීමට තීරණය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ. 

ඉකුත් මාස කිහිපය තුළ ලෝක වෙළදපොලේ බොරතෙල් මිල පහළ යාමේ ප්‍රවණතාවක් දක්නට ලැබුණු අතර එම මිල පහල යාම වළක්වා ගැනීමේ අරමුණින් එලෙස බොරතෙල් නිෂ්පාදනය අඩු කිරීමට ඔපෙක් සංවිධානය තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් සදහන්.