Friday, May 17, 2024

General line - 0115112241

ඡන්දය කල් දැමීමට එරෙහි පෙත්සමට පූර්ණ විනිසුරු මඩුල්ලක් නම් කරනවාද? නැද්ද? තීරණය කල් යයි




නිසි පරිදි පළාත් පාලන ඡන්ද විමසීම නොපැවැත්වීම තුළින්  මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට චෝදනා කරමින් ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය හරිනි අමරසූරිය ඇතුළු පිරිසක් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලීම සඳහා පූර්ණ විනිසුරු මඩුල්ලක් නම් කරන්නේද? නැද්ද? යන තීරණය ප්‍රකාශ කිරීම ශ්‍රේෂ්ඨාධිකරණය පසුවට කල් තබනු ලැබුවා.

අදාළ පෙත්සම පූර්ණ විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට ගන්නා ලෙස නීතිපතිවරයා වෙනුවෙන් මෝසමක් ගොනු කරමින් අතිරේක සොලිස්ටර් ජෙනරාල්  ප්‍රියන්ත නාවාන ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුවයි අධිකරණය අද මෙම නියෝගය නිකුත් කළේ.

අදාළ පෙත්සම අගවිනිසුරු ජයන්ත ජයසූරිය, ශිරාන් ගුණරත්න සහ ජනක් ද සිල්වා යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබුවා.


එම අවස්ථාවේදී මෝසමක් ගොනු කරමින් නීතිපතිවරයා සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් ප්‍රියන්ත නාවාන අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියාසිටියේ මෙම පෙත්සමේ වගඋත්තරකරුවකු ලෙස මැතිවරණ කොමිසම නම් කර නොමැති බවයි.

එහි වගඋත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසමේ සාමාජිකයින් නම් කර තිබුණද මැතිවරණ කොමිසම වගඋත්තරකරුවකු වශයෙන් නම් කර නොමැති නිසා අදාළ පෙත්සම පවත්වාගෙන යාමට නොහැකි බවත් අතිරේක සොලිස්ටර් ජනරාල්වරයා එහිදී පෙන්වා දුන්නා.

අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සම පූර්ණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලීමට නියම කරන ලෙසත් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා  එහිදී අධිකරණයෙන් ඉල්ලා සිටියා.

පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නයිජල් හැච් අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියාසිටියේ මෙම  පෙත්සම සාමාන්‍ය විනිසුරු මඩුල්ලක් ඉදිරියේ සලකා බැලීමට හැකියාව තිබෙන බවයි.

සියලු කරුණු සලකා බැලූ අගවිනිසුරුවරයා ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අදාළ පෙත්සම බැලීම සඳහා පූර්ණ විනිසුරු මඩුල්ලක් නම් කරන්නේද නැද්ද යන්න තීන්දුව ප්‍රකාශයට පත් කිරීම පසුවට කල් තබනු ලැබුවා.