Friday, May 17, 2024

General line - 0115112241

අළුත් අවුරුදු සමය වෙනුවෙන් ලැබුණු සහන මෙන්න




අළුත් අවුරුදු සමය වෙනුවෙන් දැනට පවතින ඉන්ධන කෝටාව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දැමුණා.

ඒ, ජනාධිපතිවරයාගේ උපදෙස් අනුවයි. ඒ අනුව විශේෂ ත්‍රී රෝද රථ සඳහා දැනට ලබාදෙන ලීටර් 10 ක ඉන්ධන කෝටාව ලීටර් 15 දක්වාත්, සාමාන්‍ය ත්‍රී රෝද රථ සඳහා ලබාදෙන ලීටර් 05 ක ඉන්ධන කෝටාව ලීටර් 08 ක් දක්වාත් වැඩි කර තිබෙනවා. යතුරු පැදි සඳහා ලබාදුන් ලීටර් 4 ක ඉන්ධන කෝටාව ලීටර් 07 ක් දක්වා වැඩි කර ඇති අතර කාර් සහ වෑන් රථ සඳහා ලබාදෙන ඉන්ධන කෝටාව වැඩි කර ඇත්තේ ලීටර් 30 ක් දක්වායි. 

බස් රථ සඳහා මෙතෙක් ලබාදුන් ලීටර් 40 ක ඉන්ධන කෝටාව ලීටර් 60 ක් දක්වා වැඩි කර තිබෙනවා. ලොරි රථ සඳහා ලබාදෙන ලීටර් 50 ක ඉන්ධන කෝටාව ලීටර් 75 ක් දක්වා වැඩි කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ. ඉඩම් වාහන සඳහා ලබාදෙන ඉන්ධන කෝටාව ලීටර් 25 ක් දක්වාත්, විශේෂ කාර්යය වාහන සඳහා ලබාදෙන ඉන්ධන කෝටාව ලීටර් 30 ක් දක්වාත් වැඩි කර තිබෙනවා.

උත්සව සමය වෙනුවෙන් වැඩිවන ඉන්ධන අවශ්‍යතාවය සඳහා අවශ්‍ය ඉන්ධන තොග ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඇනවුම් කර ලබාගෙන ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ. 

මේ අතර ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ලිට්‍රෝ සහ ලාෆ් සමාගම් ගෑස් මිල අඩු කළා.

ලිට්‍රෝ සමාගම කිලෝ ග්‍රෑම් 12 යි දශම 5 ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,005 කින් අඩු කළ අතර කිලෝ ග්‍රෑම් 05 ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල අඩු කළේ රුපියල් 402 කින්. කිලෝග්‍රෑම් 2 යි දශම 3 වර්ගයේ ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 183 කින් පහත දැමුණා. 

ලාෆ් ගෑස් සමාගම කිලෝග්‍රෑම් 12 යි දශම 5 වර්ගයේ ගෑස් සිලින්ඩරයක මිල පහත දමා ඇත්තේ රුපියල් 1,290 කින්. ඒ අනුව එම වර්ගයේ ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 3,990 ක් දක්වා අඩුව තිබෙනවා. කිලෝග්‍රෑම් 05 ලාෆ් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 516 කින් අඩු කර තිබෙනවා. ඒ අනුව එම ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 1,596 ක් දක්වා අඩු කළ බවයි ලාෆ් සමාගම පැවසුවේ.