Friday, May 17, 2024

General line - 0115112241

පාඩු ලබන රාජ්‍ය ආයතන තවදුරටත් රැකගැනීමට නොහැකි බව රජය කියයි




රට ආර්ථික අර්බුදයක පවතින මෙවන් අවස්ථාවක පාඩු ලබන හෝ අපේක්ෂිත ඉලක්ක කරා ළඟා නොවූ ආයතන රැකගැනීමට මහා භාණ්ඩාගරයට තවදුරටත් හැකියාව නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.

මහා භාණ්ඩාගාරයෙන් මුදල් වෙන් කිරීම යනු මෙරට පොදු මහජනතාවගෙන් එක්රැස් කරගන්නා ලද මුදල් එකී ආයතන නඩත්තුව සඳහා වෙන් කිරීමක් වන බව සියලුම පාර්ශවයන් අවබෝධ කරගත යුතු බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.

මේ හේතුවෙන් ජනතාව මත බර පටවා තවදුරටත් ආයතන පවත්වාගෙන යාම නොව නියාමන අධිකාරියක් වශයෙන් රජය කටයුතු කරන බවයි මුදල් අමාත්‍යංශයේ පැවති උත්සවයකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ.

උපායමාර්ගික වශයෙන් වැදගත් රාජ්‍ය ආයතන 52 අතරින් 39 ක් ලාභ ලබනවා. අනෙක් රාජ්‍ය ආයතන 13 ක්‍රියාත්මක වන්නේ පාඩු ලබමින්. එලෙස පාඩු ලබන රාජ්‍ය ආයතන 13 හි අලාභය රුපියල් බිලියන 1,029 ක් වනවා. එහෙත් ලාභ ලබන ආයතන 39 හි ලාභය රුපියල් බිලියන 218 ක් වන බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පැවසුවේ.

සමස්ථයක් වශයෙන් රාජ්‍ය ආයතනවල වාර්ෂික පාඩුව රුපියල් බිලියන 811 කට අධිකයි. ලාභ ලබන ආයතන විසින් රුපියල් මිලියන 28 ක් පමණක් මහා භාණ්ඩාගාරයට ගෙවිය යුතු අයබදු වශයෙන් ගෙවා ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියා. 

එවන් පසුබිමක් තුළ ලොව පිළිගත් ආර්ථික ක්‍රමවේදයන් අනුගමනය කිරීමට ශ්‍රී ලංකාවට සිදුව ඇත්තේ ආර්ථික අර්බුදයේ ප්‍රතිඵලයක් ලෙසයි. එසේ සිදුනොවූයේ නම් ශ්‍රී ලංකාව කිසි දිනක එවැනි ආර්ථික පියවරයන් අනුගමනය නොකරනු ඇත‘ බවයි රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වාදුන්නේ.

රටක ආර්ථිකය ස්ථාවර කිරීම කෙරෙහි එම රට විසින් අනුගමනය කළ යුතු ක්‍රමවේදයන් හඳුනාගැනීම ස්වකීයව සිදුකළ යුතු වන්නක් වන බවද මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ වැඩිදුරටත් සඳහන් කළා.