Friday, May 17, 2024

General line - 0115112241

චීනයේ තර්ජන මැද අමෙරිකානු කතානායක හමුවීමට තායිවානය ජනපතිනිය සැරසෙයි




අමෙරිකාවේ සංචාරයක නිරත තායිවාන ජනාධිපතිනි සායි ඉන් වෙන් අමෙරිකානු කතානායක කෙවින් මැකාති හමුවීමට සූදානම් වන බව විදෙස් මාධ්‍ය පවසනවා.

අමෙරිකාවේ කැලිෆෝනියාහිදී බොහෝදුරට අද එම හමුව සිදුවනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඒ තායිවාන ජනාධිපතිනියගේ අමෙරිකානු සංචාරයට දැඩි ලෙස විරෝධය පළ කළ චීනය, අමෙරිකානු කතානායකවරයා හමුනොවන ලෙසට ද ඇයට දැඩි ලෙස අනතුරු අගවා ඇති පසුබිමක් තුළයි.

තමන්ගේ විරෝධය මධ්‍යයේ එවැනි හමුවීමක් සිදුවුවහොත් එය දරුණු ප්‍රතිවිපාක ගෙන දෙනු ඇති බව ද චීනය පවසා තිබුණා. තායිවාන ජනාධිපතිනි සායි ඉන් වෙන්, අමෙරිකානු කතානායකවරයෙකු හමුවන දෙවන අවස්ථාව මෙය වනවා.

මීට පෙර අමෙරිකාවේ හිටපු කතානායිකා නැන්සි පෙලෝසිගේ තායිවාන සංචාරය අතරතුර ද ඔවුන්ගේ හමුවක් සිදු වුණා. එම සංචාරය චීනය දැඩිව ප්‍රකෝපයට පත් කළ අතර එහි ප්‍රතිපලයක් ලෙස චීනය විසින් තායිවානයට එල්ල කරන බලපෑම් ද ඉහළ ගොස් තිබෙනවා.