Friday, May 17, 2024

General line - 0115112241

අඩුකළ සියයට 20 කෑමවලට දෙනවාදැයි ආපන ශාලා අද පරීක්ෂාවට




පහත දමන ලද මිල ගණන් යටතේ පාරිභෝගිකයින්ට ආහාර ද්‍රව්‍ය ලබාදෙන්නේදැයි පරීක්ෂා කිරීම සඳහා අද දිනයේ පිටකොටුව ප්‍රදේශයේ පවතින සියලු ආපන ශාලා පරීක්ෂා කරන බව සමස්ථ ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසනවා.

සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාවට මෙන්ම සියලු පාරිභෝගිකයින්ට වැඩි මිලට ආහාර ද්‍රව්‍ය අලෙවි කරන වෙළඳසැල්වලට එරෙහිව කටයුතු කිරීම සඳහා වගකිව යුතු අදාළ පාර්ශව එම මොහොතේම දැනුවත් කරන බව එම සංගමයේ ප්‍රකාශකයෙකු සඳහන් කළා.

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට බත් පැකට්ටුවක, ෆයිඩ් රයිස් සහ කොත්තුවක මිල සියයට 20 කින් අඩුකිරීමටයි සමස්ථ ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය කටයුතු කළේ. ප්ලේන් ටී එකක මිල රුපියල් 30 ක් දක්වා අඩුකෙරුණද කිරි තේ එකක මිල රුපියල් 90 ක් ලෙසම පවතිනවා.

කෙසේවෙතත් අනුරාධපුර දිස්ත්‍රික් ආපනශාලා හිමියන්ගේ සංගමය පවසන්නේ සියයට 20 කින් බත් පැකට්ටුවක, ෆයිඩ් රයිස් සහ කොත්තුවක මිල අඩුකළ නොහැකි බවයි. කෙසේවෙතත් එම ආහාර පාන වර්ගවල මිල යම් මට්ටමකින් අඩුකරන බවයි එම සංගමයේ සභාපති ඉන්දික අනුරකුමාර පැවසුවේ.

ආහාර පාන වර්ග කිහිපයක මිල ගණන් අඩු කළේ ගෑස් මිල අඩු කිරීම හේතුවෙන් බවයි ආපනශාලා හිමියන්ගේ සංගම් වැඩිදුරටත් පැවසුවේ.