Wednesday, May 15, 2024

General line - 0115112241

ඉන්දීයාවේ හිටපු දේශපාලනඥයෙකු වෙඩි තබා ඝාතනය කෙරේ




පුද්ගල පැහැරගැනීමක් සම්බන්ධයෙන් අධිකරණය හමුවේ වරදකරුවන් වූ හිටපු ඉන්දීය දේශපාලනඥයෙකු සහ ඔහුගේ සහෝදරයා වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය පැවසුවේ ඔවුන් මාධ්‍යවේදීන් හමුවේ කරුණු දැක්වීමට සූදානම් වීමත් සමඟ ප්‍රසිද්ධියේ මෙම වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති බවයි.

මෙම සිද්ධිය ඇතැම් නාලිකා ඔස්සේ සජීවීව විකාශය වූ බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. එමෙන්ම ඔවුන් වෙඩි ප්‍රහාරයට ලක්ව තිබුණේ පොලිස් ආරක්ෂාව යටතේ සිටියදීයි.

එලෙස ඝාතනයට ලක්ව ඇත්තේ ඉන්දියාවේ හිටපු දේශපාලනඥයෙකු වූ අතික් අහමඩ් සහ ඔහුගේ සහෝදරයා වන අශ්‍රෆ් නමැත්තෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් ලෙස පෙනී සිටි තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

හිටපු දේශපාලඥයා සහ ඔහුගේ සහෝදරයා මාංචු දමා වෛද්‍ය පරීක්ෂණයක් සඳහා පොලීසිය විසින් රැගෙන යන අවස්ථාවවේදී එම ස්ථානයට රැස්වූ මාධ්‍යවේදීන් පුත්‍රයාගේ අවමංගල්‍යයට සහභාගී වීම සම්බන්ධයෙන් අදහස් විමසා ඇති බවයි වාර්තා වන්නේ.

ඊට ප්‍රතිචාර දැක්වීමට සූදානම් වීමත් සමග ආසන්නයටම පැමිණි තුවක්කුකරුවෙකු ඔවුන්ගේ හිසට වෙඩි තබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.

අදාළ දේශපාලනඥයාගේ බාලවයස්කාර පුත්‍රයා ද ඉකුත් දා පොලිස් වෙඩි ප්‍රහාරයකින් මිය ගියා.