Wednesday, May 15, 2024

General line - 0115112241

චීනය පැළඳ සිටි ලොව වැඩිම ජනගහනයේ කිරුළ ඉන්දියාවට




එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නවතම දත්තවලට අනුව ඉන්දියාව, චීනය අභිභවා ගොස් ලෝකයේ වැඩිම ජනගහනයක් සිටින රට බවට පත්ව තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ ලෝක ජනගහන ලැයිස්තුව සඳහන් කළේ මේවනවිට ඉන්දියාවේ සමස්ථ ජනගහනය මිලියන 1,428 යි දශම 6 ක් බවයි. එම ලැයිස්තුවට අනුව චීනයේ ජනගහනය මිලියන 1,425 යි දශම 7 ක් වනවා.

එක්සත් ජාතීන්ගේ සංවිධානය ඔවුන්ගේ ජනගහන දත්ත රැස් කිරීම ආරම්භ කරනු ලැබුවේ 1950 වසරේදීයි. එතැන් පටන් ඉන්දියාව එක්සත් ජාතීන්ගේ වැඩිම ජනගහනය සහිත රටවල් ලැයිස්තුවේ පළමු ස්ථානය දක්වා පැමිණි පළමු අවස්ථාව මෙය වනවා.

චීනයට ලොව වැඩිම ජනගහනය සිටින රට  ලෙස හිමිව තිබූ කිරුළ අහිමි වී ඇත්තේ 1960 වසරෙන් අනතුරුව පළමු වරට බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ලොව ජනගහනය වැඩි රටවල් ලැයිස්තුවේ 03 වන ස්ථානය අමෙරිකාවට හිමිව තිබෙනවා. එක්සත් ජාතීන්ගේ දත්ත වාර්තාවලට අනුව අමෙරිකාවේ ඇස්තමේන්තු ගත ජනගහනය මිලියන 340 ක්. තවද එම වාර්තා පවසන්නේ 2023 වසරේ මැද භාගය වන විට ගෝලීය ජනගහනය බිලියන 8 යි දශම 0 යි 4 යි 5 ක් දක්වා ළඟා වනු ඇතැයි අපේක්ෂා කරන බවයි.