Sunday, May 12, 2024

General line - 0115112241

හිටපු නීතිපති දප්පුල අත්අඩංගුවට ගැනීම සහ ප්‍රශ්ණ කිරීම වළක්වමින් වාරණ නියෝගයක්




පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කරන ලද ප්‍රකාශයකට අදාළව හිටපු නීතිපති දප්පුල ද ලිවේරාගෙන් ප්‍රශ්න කිරීම, ප්‍රකාශ සටහන් කර ගැනීම සහ ඔහු අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් අභියාචනාධිකරණය අද අතුරු නියෝග නිකුත් කළා.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝග නිකුත් කළේ හිටපු නීතිපති දප්පුල ද ලිවේරා ඉදිරිපත් කළ පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙමින්.

එමෙන්ම අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් නම් කරනු ලැබ සිටි පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා, ත්‍රස්ත විමර්ශන කාර්යාංශයේ අධ්‍යක්ෂවරයා, එහි ස්ථානාධිපතිවරයා, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා, නීතිපතිවරයා ඇතුළු පිරිසකට මැයි මස 10 වනදා අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස දන්වා අභියාචනාධිකරණය විසින් නොතීසි ද නිකුත් කළා. 

පෙත්සම්කාර හිටපු නීතිපති දප්පුල ද ලිවේරා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ සිය සේවාදායකයා නීතිපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී 2021 වසරේ මැයි මස පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදාළව සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා ඉකුත් 19 වනදා පෙනී සිටින ලෙස ත්‍රස්ත විමර්ශන කාර්යාංශය විසින් දැනුම් දී තිබූ බවයි.

ඊට ප්‍රතිචාර වශයෙන් ත්‍රස්ත විමර්ශන කාර්යාංශය වෙත පිටු හයක ලිපියක් යොමු කළ සිය සේවා දායකයා අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් තමාගෙන් ප්‍රශ්න කොට ප්‍රකාශ සටහන් කර ගැනීමට පොලීසියට බලයක් නොමැති බව පෙන්වා දී තිබුණේ යැයි ද ජනාධිපති නීතිඥවරයා කියා සිටියා.

2021 වසරේ මැයි මස සිය සේවාදායකයා නීතිපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිටුපස කුමන්ත්‍රණයක් පවතින බවට සිදුකළ ප්‍රකාශයකට අදාළව ප්‍රශ්න කිරීම සඳහා පැමිණෙන ලෙස ඔහු වෙත පොලිසිය මගින් එවා තිබූ ලිපියේ සඳහන් කර තිබුණේ යැයිද ජනාධිපති නීතිඥවරයා එහිදී කියා සිටියා.

ඉන් අනතුරුව අද දින ප්‍රකාශයක් දීම සඳහා පෙනී සිටින ලෙසත් එසේ පෙනී නොසිටියහොත් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සිදු වන බවත් පොලිසිය විසින් සඳහන් කර තිබුණේ යැයි ද ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා අධිකරණය හමුවේ පැවසුවා.

තම සේවා දායකයා අදාළ ප්‍රකාශය සිදුකළේ නීතිපතිවරයා වශයෙන් කටයුතු කරමින් යැයි සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා නීතිඥවරයෙකු හෝ නීතිපතිවරයෙකු පළ කරන මතයක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට පොලීසියට හැකියාවක් නොමැති බවද එහිදී පෙන්වාදුන්නා.

නීතිපතිවරයා වශයෙන් සිය සේවා දායකයා පළකළ එම මතයට මුක්තියක් හිමිවන බවත් එය කිසිදු අවස්ථාවක ප්‍රශ්න කළ නොහැකි බව සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා තමන්ට ලැබුණු තොරතුරු හෙළිදරව් කිරීමට නීතිපතිවරයා වශයෙන් සිය සේවාදායකයාට හැකියාවක් නොමැති බවත් එය නීතිපතිවරයාට හිමි වරප්‍රසාදයක් බවත් කියා සිටියා.

එසේ තිබියදී 2021 වසරේ සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් වසර දෙකකට පසුව හදිසියේ තම සේවා දායකයා ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට පොලිසියට මතක් වීම ගැටළු සහගත බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා එය පොලිසිය විසින් වංක සහගත අරමුණකින් කටයුතු කරමින් සිදු කරන ක්‍රියාවක් බවටත් චෝදනා කළා.

මෙම පෙත්සම කැඳවූ අවස්ථාවේදී නීතිපති දෙපාර්තමේන්තුවේ රජයේ නීතිඥවරියක අධිකරණය හමුවේ පෙනී සිටි අතර ඇය කියා සිටියේ මෙම පෙත්සමට අදාළව නිසි උපදෙස් කිසිවක් තමන් වෙත ලැබි නොමැති බවයි.ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලූ විනිසුරු මඬුල්ල ඉන් අනතුරුව මෙම නියෝග නිකුත් කළා.