Sunday, May 12, 2024

General line - 0115112241

හිටපු ධීවර අමාත්‍ය රාජිත ඇතුළු තිදෙනෙකුට එරෙහිව අධි චෝදනා භාර දෙයි




2014 වසරේ මෝදර ධීවර වරාය පෞද්ගලික සමාගමකට අඩු මුදලකට බදු දීම තුළින් රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා එල්ල වී සිටින හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න ඇතුළු විත්තිකරුවන් තුන් දෙනෙකුට එරෙහිව අද කොළඹ මහාධිකරණය හමුවේ සංශෝධිත අධි චෝදනා පත්‍ර භාරදීම සිදු වුණා.

ඒ, එම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ හමුවේ අද කැඳවු අවස්ථාවේදීයි. එහිදී අල්ලස් කොමිසම විසින් විත්තිකරුවන්ට විවෘත අධිකරණයේදී සංශෝධිත චෝදනා පත්‍ර භාර දුන් බවයි නෙත් නිවුස් අධිකරණ වාර්තාකරු පැවසුවේ.

ඉන් අනතුරුව විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු සඳහන් කර සිටියේ අල්ලස් කොමිසම විසින් තමන් වෙත ලබාදිය යුතු ලේඛන සම්පූර්ණ වශයෙන් ලබාදී නොමැති බවයි.

ඒ අනුව ඒ පිළිබඳව පරීක්ෂාකර නැවත දැනුම්දීම සඳහා විත්තියේ නීතිඥවරුන්ට කල් දුන් විනිසුරුවරයා අනතුරුව නඩුව වැඩිදුර පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා ජුනි මස 16 වනදා කැඳවන ලෙස නියම කළා.

මෙම නඩුවේ සෙසු විත්තිකරුවන් ලෙස ධීවර වරාය නීතිගත සංස්ථාවේ හිටපු සභාපති උපාලි ලියනගේ සහ එහි කළමනාකාර අධ්‍යක්ෂ නිල් රවීන්ද්‍ර මුණසිංහ යන අය නම් කර තිබෙනවා.

මෝදර ධීවර වරාය, සමාගමක් වෙත අඩු මුදලකට බදු දීම සඳහා ධීවර වරාය නීතිගත සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩලය පෙළඹවීම තුළින් රජයට පාඩුවක් සිදුකලේ යැයි චෝදනාකර එවක ධීවර අමාත්‍ය ලෙස කටයුතු කළ රාජිත සේනාරත්න ඇතුළු විත්තිකරුවන් තිදෙනාට එරෙහිව චෝදනා පහක් යටතේ අල්ලස් කොමිසම මෙම අධිචෝදනා පත්‍රය ගොනු කර තිබෙනවා.